දරු ඵල ප්‍රමාද වීම නැතහොත් දරු ඵල අහිමි වීම සඳහා බලපාන තවත් රෝග තත්වයක් වන පැලෝපීය නාලවල සිදුවන අවහිරතා සහ ඒවා හඳුනා ගන්නා පරීක්ෂණයක් ගැනයි මෙම ලිපියෙන් පැහැදිලි කෙරෙන්නේ.
සාමාන්‍යයෙන් කාන්තාවකට පැලෝපීය නාල දෙකක් පිහිටා තිබෙනවා. ඒවා ගර්භාෂය දෙපැත්තේ පිහිටාතිබෙන අතර ඉතාමත්ම සියුම් නාල ලෙසයි පවතින්නේ. ඩිම්බ කෝෂයකින් ඩිම්බයක් පිටවූ අවස්තාවකදී එම ඩිම්බය ගර්භාෂය දක්වා රැගෙන ඒමයි පැලෝපීය නාලයක ප්‍රධාන කර්තව්‍යය. ඊට අමතරව ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකට එකතුවීම ස්වභාවිකව සිදුවන්නේත් මෙම පැලෝපීය නාල තුල දීයි. ඇත්තටම දරු පිළිසිඳ ගැනීමක් සිදු වන්නේ පැලෝපීය නාලයක් තුලදී කිව්වොත් නිවැරදියි. මෙයට අවශ්‍ය අභ්‍යන්තර පරිසරය පැලෝපීය නාලයක් තුල ස්වභාවයෙන් ම මැනවින් පිහිටා තිබෙනවා. එම නාල තුළ ඇත්තේ ඉතාමත් ම සියුම් බිත්තියක්. එම නාල තුල පිහිටි ඉතා සියුම් සීලියා (පක්ෂම) හෙවත් සියුම් රෝමකූප වල ක්‍රියාකාරීත්වයෙන් තමයි පැලෝපීය නාලයක් තුල දී ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකට එකතු වීමෙන් සෑදෙන යුක්තාණුව ගර්භාෂය දෙසට ගමන් කිරීම සිදුවෙන්නේ. යම් කිසි හේතුවක් නිසා කාන්තාවකගේ පැලෝපීය නාලවල අවහිරතාවක් සිදුවුවහොත් මේ ක්‍රියාවලිය අඩපණ වීම ඇතිවෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක දරු පිළිසිඳ ගැනීමේ අවස්ථාව එම කාන්තාවට අහිමි වෙන්න පුළුවන්.
අපි හොයල බලමු මේ ආකාරයෙන් පැලෝපීය නාලවල අවහිර තත්වයන් ඇතිවෙන්න බලපාන හේතු මොනවද කියල.
පළමු කරුණ තමයි පැලෝපීය නාල ආශ්‍රිතව ඇතිවන ආසාදිත තත්වයන්. එය තවදුරටත් පැහැදිලි කළොත්, පැලෝපීය නාල වලට විෂ බීජ ඇතුල්වීම නිසා Pelvic Inflammatory Disease කියන රෝග තත්වය ඇතිවීම. ගැබ් ගෙල හරහා ගර්භාෂය තුලින් පැලෝපීය නාල වලට ඇතුල්වන විෂ බීජයක් හේතුවෙන් හටගන්නා ආසාදනයක් නිසා සැරව ගැලීමක් පැසවීමක් ඇතිවුවහොත්, නැවත යථා තත්වයට පත්කිරීමට නොහැකි තත්වයට පැලෝපීය නාල අවහිර වෙන්න පුළුවන්. මෙවැනි විෂබීජ ආසාදනයක් ඇතිවූ පමණින්ම පැලෝපීය නාල අවහිර වෙන්නේ නැහැ, එහෙත් එවැනි අවස්ථාවක මුලික අදියරේදීම ඊට වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගතහොත් පැලෝපීය නාල අවහිරවීමේ අවදානම පවතින බව සිහිපත් කළ යුතුයි.
පැලෝපීය නාල අවහිර වෙන්න බලපාන තවත් ප්‍රධානතම හේතුවක් ලෙස Endometriosis යන රෝග තත්වය සලකන්න පුළුවන්. මෙම රෝග තත්වය තිබෙන විට උදර කුහරය ඇතුළත අවයව එකිනෙකට ඇලීම් සිදු වෙනවා. පැලෝපීය නාල සහ ඩිම්බ කෝෂ ආශ්‍රිතව මෙවැනි ඇලීම් සිදු වෙන්න පුළුවන්. එවැනි ඇලීමක් සිදුවුවහොත් පැලෝපීය නාලයේ ස්වභාවික ක්‍රියාකාරිත්වයට බාධා ඇති වී එමගින් පැලෝපීය නාලය අවහිර වන අවස්ථා දකින්න පුළුවන්.
උදරය ආශ්‍රිතව සිදුකරන වෙනත් සැත්කමක් නිසාත් පැලෝපීය නාල අවහිර වෙන්න පුළුවන්. කිසියම් හේතුවක් නිසා උදර කුහරය ඇතුළත සැත්කමක් සිදුකළහොත් එම සැත්කම නිසාම පැලෝපීය නාල අවහිර වන අවස්ථා තිබෙනවා. එවැනි සැත්කමකින් පසුව උදර කුහරය ඇතුළත අවයව එකිනෙකට ඇලීමට ඉඩ තිබෙන බැවින් පැලෝපීය නාල අවහිර වීමේ වැඩි අවදානමක් තියෙනවා.
එමෙන්ම LRT වැනි සැත්කම් වලදීත් සිදුවෙන්න් පැලෝපීය නාලවල ක්‍රියාකාරිත්වයට බාධාවක ලෙස පැලෝපීය නාල අවහිර කිරීම. එවැනි සැත්කමක දී කාන්තාවකට ගැබ් ගැනීමේ හැකියාව නැති වී යාමයි සිදු වෙන්නේ.
දැන් අපි සොයා බලමු පැලෝපීය නාලයක් අවහිරවී තිබේද යන්න හඳුනා ගන්නේ කෙසේද කියා. ඒ සඳහා ඇති ප්‍රධානතම හා සාර්ථකම පරීක්ෂණය ලෙස ලැපරොස්කොපි පරීක්ෂණය හඳුන්වන්න පුළුවන්. උදර කුහරය ඇතුළත ඉතාමත් සියුම් අවයව ඉතාමත් පැහැදිලි ලෙස පරීක්ෂා කළ හැකි ක්‍රමවේදයක් ලෙසයි ලැපරොස්කොපි පරීක්ෂණය භාවිතා කරන්නේ. විශාල කැපුම් නොයොදා, ඉතා කෙටි කාලයක් තුල වඩාත් නිවැරදි ලෙස උදරය ඇතුළත රෝග තත්වයන් හදුනා ගැනීමට හැකි වීමත්, රෝග තත්වයක් හදුනාගතහොත් එම අවස්ථාවේදීම උදරය විවෘත කිරීමකින් තොරව සැත්කමකින් පවතින තත්වය නිවැරදි කිරීමේ හැකියාවත්, සැත්කමෙන් පසු රෝගියාට දැඩි වේදනාවන් නො දැනීමත්, වෙනත් සංකූලතා නොමැති අවස්ථාවල සැත්කමෙන් දිනකට පසු නිවෙස බලා යාමට හැකි වීමත් මෙම ලැපරොස්කොපි පරීක්ෂණය හා ලැපරොස්කොපි සැත්කම්වල වාසිදායක තත්වයන් වනවා.
මෙහි දී සිදු කරනු ලබන්නේ ඉතා සියුම් කැමරාවක් උදර කුහරය තුලට යොමු කර එම කැමරාවෙන් ලැබෙන සජීවී දර්ශන යොදා ගෙන වෛද්‍යවරයා උදර කුහරය පරීක්ෂා කර බැලීමයි. එහිදී පැලෝපීය නාලවල කිසියම් ඇලීම් තත්වයක් පවතීද, Endometriosis රෝග තත්වය තිබේ ද යන්න පිළිබඳව පැහැදිලිව හදුනා ගැනීමට හා සොයා ගැනීමට හැකියාව ලැබෙයි .ඊට අමතරව මෙම පරීක්ෂණයේ දී ගැබ් ගෙල හරහා වර්ණයක් ඇතුල් කිරීමත් සිදු කරනු ලබනවා.
එහිදී ගැබ් ගෙල හරහා ඇතුල්වන මෙම වර්ණක ගර්භාෂය තුලට ගමන් කර එතුලින් පැලෝපීය නාල දක්වා ගමන් කර පැලෝපීය නාලවලින් පිටතට පැමිණීම සිදු වෙනවා. මේ ගමන් මග නිවැරදිව අවහිරතාවකින් තොරව පවතිනවා නම් ඒ බව ලැපරොස්කොපි පරීක්ෂණය සිදු කරන වෛද්‍යවරයාට දැක ගන්නට පුළුවන්. පැලෝපීය නාල දෙකින්ම මෙම වර්ණක පිටතට පැමිණෙනවා නම් එම නාලවල අවහිරතාවයක් නොමැති බව හා නිවැරදිව ක්‍රියාකරන බව තහවුරු කර ගැනීමට පිළිවන්.
මෙම ලැපරොස්කොපි පරීක්ෂණය විනාඩි 15 ත් 30 ත් අතර කාලයක දී සිදු කළ හැකි වන අතර පූර්ණ නිර්වින්දනය හෙවත් සිහිනැති කිරීමකින් පසුව සිදු කළ යුතු වනවා. එහිදී කාන්තාවගේ නාභිය හෙවත් බුරිය ප්‍රදේශයේ සෙන්ටි මීටරයක පමණ කුඩාවට කැපුමක් යොදා ඉතා සියුම් කැමරාවක් සහිත ලැපරොස්කොපි ශල්‍ය උපකරණය ඇතුල් කරනු ලබනවා. ඊට අමතරව ලැපරොස්කොපි පරීක්ෂණයේ පහසුව වෙනුවෙන් උදරයේ ඇති වෙනත් අවයව පිහිටා ඇති ආකාරය අනුව කැමරාවෙන් පරීක්ෂා කිරීමේ පහසුව සඳහා උදරයේ පහල ප්‍රදේශයෙන් සෙන්ටි මීටර 1/2 ක කැපුමක් යොදා තවත් සියුම් ශල්‍ය උපකරණයක් ඇතුල් කරනු ලබනවා.
ඒ සඳහා පහසුකම් ඇති රෝහලකට යොමු වීමෙන් මෙවැනි කුඩා කැපුම් 2 ක් පමණක් යොදා ගනිමින් ලැපරොස්කොපි පරීක්ෂණය ඉතාමත් ම පහසුවෙන් සිදුකර ගැනීමට හැකියාව තිබෙනවා. දරුණු ලෙස පැලෝපීය නාල ඇලී තිබෙන Endometriosis වැනි රෝග තත්වයක් හෝ එසේත් නැත්නම් ඩිම්බ කෝෂවල ගෙඩි හට ගෙන ඇති තත්වයක් එම පරීක්ෂණයේ දී හදුනා ගැනීමට හැකිවුවහොත් උදරය විවෘත කිරීමකින් තොරව යථා තත්වයට පත්කිරීමේ හැකියාව තිබෙන බවත් සඳහන් කළ යුතුයි.
සටහන - ප්‍රියන්ත හීන්පැල්ල
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
SHARE THIS WITH FRIENDS ON