Ovarian cysts (ඩිම්බ කෝෂයේ ඇති වන ගෙඩි)

නිරෝගී තරුණ කාන්තාවකගේ ඩිම්බ කෝෂ වලින් මසකට වරක් ඩිම්බයක් පිටවීම සාමාන්‍යයෙන් සිදුවන්නක්. මෙම ඩිම්බය පිටවීමට පෙර එය වර්ධනය වෙන්නේ ඩිම්බ කෝෂයක් ඇතුළෙ ෆොලිකල් (follicle) නමින් හඳුන්වන තරලයෙන් පිරුණු වතුර බුබුලක් වැනි බුබුලක් තුල. ඩිම්බය වර්ධනය වන අවස්ථාවවේදී මෙම බුබුල සෙන්ටි මීටර 2-3 ක් පමණ විශ්කම්භයක් දක්වා විශාල වෙනවා. කලාතුරකින් මීට වඩා විශාල වන අවස්ථා වුවත් දක්නට පුළුවන්. එය සාමාන්ය තත්වයක්.

එහෙත් ඇතැම් අවස්ථාවක මෙම ඩිම්බ කෝෂ තුල ගෙඩි හට ගන්නා අවස්ථා තිබෙනවා. ඒවා බොහෝ වෙලාවට තරලයකින් පිරුණු වතුර බුබුලක් වැනි ගෙඩි විදියටයි දකින්න ලැබෙන්නේ. තරුණ කාන්තාවන්ගෙ ඩිම්බ කෝෂ තුල ඇති වන ගෙඩි ප්‍රධාන වර්ග 3ක් හදුනා ගන්න පුළුවන්.

1. පළමු වර්ගය

Simple cyst. මෙය සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වූ ඩිම්බය අඩංගු ෆොලිකල් එකක්. මෙවැනි ආකාරයේ ගෙඩි ඉතාමත් සුලබයි. නමුත් මාස කිහිපයක් ඇතුළත මෙම ගෙඩි ඉබේම හැකිළී යන නිසා ප්‍රතිකාරයක් අවශ්‍ය වන්නේ නැහැ.

2. දෙවන වර්ගය

Endometrioma (Chocolate cyst). එන්ඩොමෙට්ට්‍රියෝමා ලෙස හඳුන්වන ගෙඩි. මේවා සෑදෙන්නෙ එන්ඩොමෙට්‍රියොසිස් කියන රෝගී තත්වය නිසා. මෙහි දී ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ඇති සෛල වලට සමාන සෛල ගර්භාෂයෙන් පිටත සහ ඩිම්බ කෝෂය මත පිහිටනවා. මෙම සෛල වලින් ඇති වන ඩිම්බ කෝෂයේ ගෙඩි එන්ඩොමෙට්ට්‍රියෝමා නැතහොත් චොකලට් සිස්ට් ලෙසයි හඳුන්වන්නේ.

3. තුන්වන වර්ගය

Dermoid cyst. කාන්තාවකගේ ඩිම්බ කෝෂ වර්ධනය වන සමයේ ඩිම්බ ඇති වන මූලික සෛල වලින් හට ගන්නා ගෙඩි ඩර්මොයිඩි සිස්ට් ලෙස හඳුන්වනවා. මේවා ඇතුළත සමහර විට හිස කෙස්, දත්, මේද පටක වැනි දේ දක්නට ලැබෙනව.

 

මීට අමතරව සෑදෙන අනිකුත් ගෙඩි වර්ග එතරම් සුලබ නැහැ.

කාන්තාවන්ට ආර්ථවහරනයට පෙර ඇති වන ඩිම්බ කෝෂ වල ගෙඩි බොහොමයක් පිළිකා නෙමෙයි. සෑම කාන්තාවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට (10% කට) ජීවිත කාලය තුල දී මෙවැනි ගෙඩියක් නිසා ශල්‍ය කර්මයකට ලක් වීමේ අවදානමක් තිබෙන බවත් හදුනා ගන්න පුළුවන්.

පහත රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇත්නම් ඔබට ඩිම්බ කෝෂයක ගෙඩියක් ඇත් දැයි සැක කල හැකියි. නමුත් මෙය නිවැරදිව දැන ගැනීමට වෛද්‍ය පරීක්ෂණයක් සහ ස්කෑන් පරීක්ෂණයක් සිදුකළ යුතුවනවා.

යටිබඩ වේදනාව

මාස් ශුද්ධිය සමග වේදනාවක් ඇතිවීම

ලිංගික එක්වීමේ දී වේදනාවක් ඇතිවීම

බඩේ පිරුණු ස්වභාවයක් දැනීම සහ ආහාර රුචිය වෙනස් වීම

යටි බඩ විශාල වීම (ඉදිමීම)

දරු ඵල පමා වීම

මුත්‍රා පිට කිරීමේ දී හෝ මල පහ කිරීමේ දී අපහසුතාවක් හෝ වේදනාවක් ඇතිවීම

මෙවැනි අවස්ථාවක වෛද්‍ය උපදෙස් මත ස්කෑන් පරීක්ෂණයකට යොමු වීම ඉතාමත් වැදගත්. මෙහි දී වෛද්‍ය වරයා ඔබව පරීක්ෂා කර බලා අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකට යොමු කරනු ඇති. මෙමගින් ඩිම්බ කෝෂයේ ගෙඩියක් ඇති දැයි සැක හැර දැන ගත හැකියි.

ඔබට එවැනි ගෙඩියක් ඇත්නම් එම ගෙඩියේ ලක්ෂණ අනුව වෛද්‍ය වරයා වැඩි දුර පරීක්ෂණ නියම කරනු ඇති. මෙම ගෙඩිය simple cyst ලෙස හඳුන්වන ගෙඩියක් නම් එහි ප්‍රමාණය අනුව ප්‍රතිකාර වෙනස් වනවා. ගෙඩියේ විශ්කම්භය 5 cm වලට වඩා අඩු නම් බොහෝ විට මෙය ප්‍රතිකාරයකින් තොරවම හැකිළී යන නිසා බියවිය යුතුවන්නේ නැහැ. මාස කිහිපයකින් නැවත ස්කෑන් පරීක්ෂණයකට ලක් වීමෙන් මෙය සැක හැර දැන ගත හැකියි. නමුත් ගෙඩිය 5 cm වලට වඩා විශාල නම් දගින් දිගටම පවතී නම් වැඩිදුර පරීක්ෂණ කිරීම අවශ්‍ය වෙනවා. සමහර විට මේ සඳහා ලැපරොස්කොපි ශල්‍යකර්මයක් අවශ්‍ය වන්න පුළුවන්.

ගෙඩිය ඉතා විශාල නම් සාමාන්‍ය විවෘත ශල්‍යකර්මයක් අවශ්‍ය වෙන්න පුළුවන්. බොහෝ විට පිළිකා නොවන ගෙඩියක් ඉවත් කිරීමේ දී ඩිම්බ කෝෂය ඉවත් කරන්නේ නැහැ. එම නිසා ශල්‍ය කර්මයෙන් පසු ඔබේ සාපල්‍යතාවයට හෝ මාසික ඔසප් වීමට බලපෑමක් ඇති වන්නේ නැහැ.

වයස අවුරුදු 50ට වැඩි කාන්තාවකට ඩිම්බ කෝෂයක ගෙඩියක් ඇති බව හඳුනා ගත හොත් මෙම වයසේ දී ඇති වන ගෙඩි පිළිකාවක් වීමට අවදානම වැඩි නිසා ඒ සඳහා ඉතා ඉක්මනින් වැඩි දුර පරීක්ෂණ සිදු කල යුතුයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.

SHARE THIS WITH FRIENDS ON


LATEST POSTS
3D-4K-Laparoscopy
වඩාත් ආරක්ෂිත ලැපරොස්කොපි සැත්කමක් සඳහා 3D ලැපරොස්කොපි තාක්ෂණය.

covid-vaccine-pregnancy
Covid 19 එන්නත සහ ගර්භණී බව. ඔබේ ගැටළු වලට පිළිතුරු

folic-acid-pregnancy
ගැබ් ගැනීමට පෙර අනිවාර්යයෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතු ඇයි?

vaginal-discharge-pregnancy
ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?

anovulation
ඩිම්බ මෝරන්නෙ නැති වෙන හේතු

ecp-failure
හදිසි උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන්

heavy-menstrual-bleeding
ඔසප් වීම සමග රුධිර වහනය අධික වීමට හේතු සහ ප්‍රතිකාර

hysterectomy-options
ගර්භාෂය ඉවත් කරන්න පෙර මේ ගැන දැනගන්න.

coronavirus-pregnancy
Coronavirus ආසාදන තත්වය - ගැබිනි මවට උපදෙස්

POPULAR POSTS
emergency-contraception
හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගත හැකි ක්‍රම (Emergency contraception)

fertile-period
දරු පිළිසිඳ ගැනීමට සුදුසුම සරු කාලය

pregnancy-test
ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගන්නේ මෙහෙමයි (Pregnancy test)

iugr
මවු කුස තුල දරුවාගේ වර්ධනය අඩුද? (Intra Uterine Growth Restriction)

total-laparoscopic-hysterectomy
ගර්භාෂය නිසා ඇතිවෙන අධික වේදනාවට, රුධිර වහනයට එක් දිනෙන් සහනය දෙන TLH සැත්කම.

Nutrition
ගර්භණී සමයේ පෝෂණය (Nutrition in pregnancy)

hymen-virginity
කන්‍යා පටලය ගැන ඇත්ත දැන ගන්න

Early-pregnancy-vog
ගැබිනි මවක් මුලින්ම කළ යුතු දේ (Early pregnancy )

ivf
දරු සම්පත් පමාවන අයට පිහිට වෙන IVF ප්‍රතිකාර ක්‍රමය ගැන. (In Vitro Fertilization)