දරු ඵල ප්‍රමාදයට හේතු සහ ප්‍රතිකාර ගැන අපි කලින් ලිපි කිහිපයකින්ම තොරතුරු ගෙනාව. ඔබ දන්නව මදසරුබව එකම හේතුව කාන්තා රෝග නොවෙයි කියල. සාමාන්‍යයෙන් මදසරු බව ඇති යුවල් අතරින් 1/3 කට පමණ කාන්තාවගේ රෝග තත්වයක් නිසා මදසරුබව ඇති වෙනව. මේ ලිපිය වෙන් වෙන්නෙ එවැනි කාන්තා රෝග තත්වයන් කිහිපයක් පිළිබඳවයි.
1. පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් තත්වය. (PCOS)ඩිම්බ කෝෂ වලින් මසකට වරක් ඩිම්බයක් පිට වීම සිදු නොවී නොමේරූ ඩිම්බ අඩංගු ෆොලිකල් ගොඩක් ඩිම්බ කෝෂවල එක් රැස් වීම මෙහි දී දක්නට ලැබෙන ලක්ෂණයක්. මේ නිසා ඩිම්බ පිටනොවීමට අමතරව, සිරුරේ හෝමෝන ක්‍රියාවලියේ අසමතුලිත බවක් ඇතිවෙනව. කුරුලෑ අධික වීම, තරබාරු බව, උදරය ඉදිරියට නෙරා ඒම, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සහ ශරීරයේ අධික ලෙස රෝම ඇති වීම මේ සමග ඇතිවිය හැකි රෝග ලක්ෂණයන්.
මේ රෝග තත්වය පාලනය කිරීමට ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය මගින් සිරුරේ බර අඩු කර ගැනීම අත්‍යවශ්‍ය වෙනව. ඊට අමතරව ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනව.
2. එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය (Endometriosis)
ගර්භාෂයේ ඇතුළත බිත්තියේ පිහිටි සෛල වලට සමාන සෛල වෙනත් ස්ථාන වල අසාමාන්‍ය ලෙස පිහිටීම මෙම රෝග තත්වයේ දී දක්නට ලැබෙනව. මේ නිසා උදරයේ වේදනාව සහ මදසරුබව ඇති වෙනව. ඩිම්බ කෝෂ වල chocolate cyst නමැති ගෙඩි හට ගැනීමටත් මෙය හේතු වෙනව. මෙම රෝග තත්වය සඳහා ප්‍රතිකාර වෙන්නෙ ලැපරොස්කොපි සැත්කමක් මගින් රෝගී පටක කොටස් ඉවත් කිරීමයි. ඉන් පසු ඉතා ඉක්මනින් ගැබ් ගැනීමට උත්සාහ කල යුතුයි. සැත්කමෙන් පසු නැවත රෝග තත්වය මතු වීම පාලනය කිරීම සඳහා නික්ෂේපණ ඖෂධ ප්‍රතිකාර භාවිතා කරන්න පුළුවන්.
3. ගර්භාෂයේ ගෙඩි (Fibroids)
ගර්භාෂයේ මාංශපේෂී බිත්තියේ ඇති වෙන ෆයිබ්‍රොයිඩ් ගෙඩි නිසා ඇති විය හැකි බලපෑම එම ගෙඩි සංඛ්‍යාව, ප්‍රමාණය සහ පිහිටි ස්ථානය අනුව වෙනස් වෙනව. සමහර විට මේවා දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීමට හෝ ගබ්සාව වීමට හේතු විය හැකියි. ඒ වගේ අවස්තාවකදී ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කිරීමට මයෝමෙක්ටොමි සැත්කමක් අවශ්‍ය විය හැකියි. මෙම සැත්කමත් දැන් අවම හානියක් වෙන ලෙස ලැපරොස්කොපි ක්‍රමයට සිදු කරන්න පුළුවන්. ඒ ගැන විස්තර වෙනම ලිපියක දැක්වෙනව.
4. පැලොපීය නාල අවහිර වීම
ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එක් වෙන්නෙ පැලෝපීය නාලයක් තුලදීයි. මෙම නාල වල අවහිරතාවක් ඇති නම් ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. මෙවැනි අවහිරතාවයන්ට බොහෝ විට හේතු වෙන්නෙ කලින් විෂබීජ ආසාදන නිසා ඇතිවූ සංකූලතාවයන්. ඒ වගේම කලින් සැත්කම් (විශේෂයෙන් විවෘත සැත්කම්) නිසා අති වෙන පටක ඇලීම් වැනි හේතුත් මෙයට බලපානව. මේ බව HSG හෝ ලැපරොස්කොපි පරීක්ෂණයක් මගින් දැන ගැනීමට හැකියාව තිබෙනව. පැලෝපීය නාලවල අවහිරතාවයන් නිවැරදි කිරීමට සැත්කම් තිබෙන නමුත් ඊට වඩා IVF ප්‍රතිකාරයට යොමු වීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. IVF සඳහා පැලෝපීය නාල අවහිර වීම ගැටළුවක් නොවෙයි.
5. ඩිම්බ කෝෂ වයස් ගත වීම
කාන්තාවකගේ ජීවිත කාලය තුල පිටකල හැකි ඩිම්බ ගණන සීමිතයි. සාමාන්‍යයෙන් වයස අවුරුදු 51ක් පමණ වෙන විට ඩිම්බ පිටවීම සම්පූර්ණයෙන් නතර වෙනව. නමුත් යම් යම් හේතු නිසා ඩිම්බ කෝෂ මීට වඩා කලින් අක්‍රිය වෙන අවස්තා තිබෙනව. එවැනි කාන්තාවන්ට ඩිම්බ පිටවීමක් සිදු නොවන නිසා ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. මෙයට ප්‍රතිකාර කල හැක්කෙ වෙනත් කාන්තාවකගෙන් ඩිම්බ ලබා ගෙන IVF ක්‍රමයට දරු ගැබක් ඇගේ ගර්භාෂයේ තැන්පත් කිරීමයි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
SHARE THIS WITH FRIENDS ON