ගැබ් ගැනීමට පෙර අනිවාර්යයෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතු ඇයි?

මොනවද මේ ෆෝලික් ඇසිඩ් කියන්නෙ? ෆෝලික් ඇසිඩ් ගැනීමෙන් ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩි වෙනවද? ෆෝලික් ඇසිඩ් කොපමණ ප්‍රමාණයක් ගන්න අවශ්‍යද? ෆෝලික් ඇසිඩ් ගැනීම ආරම්භ කල යුතු වෙන්නෙ කුමන කාලයක සිටද? මේ වගේ ගැටළු රැසක් අප වෙබ් අඩවිය වෙත නිතරම යොමු වන නිසා මේ ලිපිය ඒ වෙනුවෙන් වෙන් කරනව. 

ෆෝලික් ඇසිඩ් (Folic acid/ Vitamin B9) කියල කියන්නෙ අපේ ආහාර මගින් ලබා ගත යුතු විටමිනයක්. ගැබ් ගැනීමට අපේක්ෂා කරන කාන්තාවක් සාමාන්‍යයෙන් දිනකට අඩුම වශයෙන් ෆෝලික් ඇසිඩ් මයික්‍රො ග්‍රෑම් 400ක පමණ ප්‍රමාණයක් ලබා ගත යුතු වෙනව. කොළ පැහැති එළවළු වර්ග, පලා වර්ග, දොඩම්, කජු, බෝංචි කඩල වැනි ඇට වර්ග සහ කුකුළු මස් වැනි ආහාර වල සාමාන්‍යයෙන් ෆෝලික් අම්ලය අඩංගු වන නමුත් අප එදිනෙදා ආහාරයට ගන්නා සාමාන්‍ය ආහාර වේලක මෙතරම් විශාල ෆෝලික් ඇසිඩ් ප්‍රමාණයක් අඩංගු වෙන්නෙ නැහැ. ඒ නිසා ගැබ් ගැනීමට අපේක්ෂා වෙන් සිටින සෑම කාන්තාවකටම ෆෝලික් අම්ලය ආහාර වලට අමතරව ලබා ගැනීමට නිර්දේශ කරනව. 

ෆෝලික් අම්ලය අපේ සිරුරේ බොහෝ ක්‍රියාකාරිත්වයන්ට වැදගත් විටමිනයක්. අප ශරීරයේ බොහෝ සෛල වල වර්ධනය සහ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට ෆෝලික් ඇසිඩ් වැදගත් වෙනව. මේ අතර රතු රුධිරාණු නිෂ්පාදනය වැදගත් කර්තව්‍යයක්. සිරුරේ ෆෝලික් අම්ල ප්‍රමාණය අඩු වුවහොත් නිරක්තිය වැනි සංකූලතා පවා ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම දරු පිළිසිඳ ගැනීමක් සිදුවන කාලයේ සිරුරේ ෆෝලික් අම්ල ඌණතාවය පැවතුණ හොත්, එය දරුගැබට බලපානව. ඒ නිසා දරුවාට ස්නායු පද්ධතිය ආශ්‍රිත දරුණු සංකූලතා ඇතිවෙන්න පුළුවන්.  Anencephaly සහ Neural tube defects කියන්නෙ මෙවැනි දරුණු සංකූලතවයන් දෙකක්. Anencephaly ලෙස හඳුන්වන්නෙ හිස්කබල සහ මොලය වර්ධනය නොවන දරුවන්. එවැනි දරුවෙකුට ජීවත් වීමට අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. ස්නායු පද්ධතියේ කොටස් හිසේ පිටුපසින් සහ කොඳු ඇට පෙල ආශ්‍රිත පෙදෙසෙන් පිටතට පැමිණිය හැකි තත්වයන් (Neural tube defects) මේ නිසා ඇතිවෙන තවත් සංකූලතාවයක්. මෙම සංකූලතාවයන් ඇතිවීම නියමිත මාත්‍රාවෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම මගින් වලක්වා ගන්න පුළුවන්.  

ඒ සඳහා ගැබ් ගැනීමට අපේක්ෂාවෙන් සිටින සෑම කාන්තාවක්ම දිනපතා ෆෝලික් අම්ලය අමතරව ගැනීම කල යුතුයි. කාන්තාවක් ගැබ් ගැනීමට පෙර සිටම ෆෝලික් අම්ලය ලබා ගැනීම ආරම්භ කල යුතුයි. එයට හේතුව වෙන්නෙ දරුවා පිළිසිඳ ගන්නා අවස්ථාවේ සිටම නිරෝගී වර්ධනයට ෆෝලික් ඇසිඩ් වැදගත් වන නිසයි. අප නිර්දේශ කරන්නෙ ගැබ් ගැනීමට අපේක්ෂා කරන සියළුම කාන්තාවන් ඊට මාස තුනකට පෙර සිට ෆෝලික් ඇසිඩ් මිලි ග්‍රෑම් 1 ක පෙත්තක් බැගින් දිනකට වරක් ලබා ගන්නා ලෙසයි. මෙය ලබා ගැනීමට විශේෂ වේලාවක් නැහැ. ඔබට පහසු පරිදි උදේ හෝ රාත්‍රි කාලයේ හෝ ලබා ගත හැකියි. දැනට වෛද්‍ය නිර්දේශයකින් තොරව වුවත් ඔබට ඖෂධ හලකින් ෆෝලික් ඇසිඩ් පෙති මිලදී ගැනීමට පුළුවන්.  

සමහර කාන්තාවන්ට ෆෝලික් ඇසිඩ් මිලි ග්‍රෑම් 1ක් ප්‍රමාණවත් නැහැ. වෛද්‍ය වරුන් මිලිග්‍රෑම් 5ක ෆෝලික් ඇසිඩ් පෙති ලබා ගැනීමට නිර්දේශ කරන විශේෂ අවස්තා ලෙස අධික තරබාරු කාන්තාවන්, දියවැඩියා රෝගයෙන් පෙලෙන කාන්තාවන්, අපස්මාරය සඳහා ප්‍රතිකාර ලබා ගන්නා කාන්තාවන්, කලින් වැනි සංකූලතා ඇති දරුවකු බිහි කල කාන්තාවන්, හැඳින්විය හැකියි.

ෆෝලික් ඇසිඩ් මදසරු බවට ලබා දෙන ප්‍රතිකාරයක් නොවෙයි. මෙම ඖෂධය ලබා දෙන්නෙ ඉහත සඳහන් කල සංකූලතාවයන් සහිත දරුවන් බිහි වීම වළක්වා ගැනීමටයි. ඔබට ගැබ් ගැනීමට ප්‍රමාදබව හැඟේ නම් ඒ පිළිබඳ පරීක්ෂණ සහ සුදුසු පරිදි ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනව. 

ෆෝලික් ඇසිඩ් කියන්නෙ අතුරු ආබාධ ඉතාමත් අඩු ඖෂධයක්. ඒ නිසා කිසිම ගැට‍ළුවක් නොමැතිව බොහෝ දෙනෙකුට මෙය ලබා ගත හැකියි. නමුත් කිසියම් හේතුවක් නිසා ඔබට ෆෝලික් ඇසිඩ් පෙති ගැනීමට අපහසු නම් ඒ පිළිබඳ ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කරන්න. එවිට ඔබට වෙනස් ෆෝලික් ඇසිඩ් වර්ගයක් වන L Methylfolate පෙති ලබා ගත හැකියි. එයට මිලෙන් වැඩි වුවත්, සාමාන්‍ය ෆෝලික් අම්ලයට වඩා වේගයෙන් සිරුරට උරා ගන්නා අතර අතුරු ආබාධ අඩුයි. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.

SHARE THIS WITH FRIENDS ON


LATEST POSTS
3D-4K-Laparoscopy
වඩාත් ආරක්ෂිත ලැපරොස්කොපි සැත්කමක් සඳහා 3D ලැපරොස්කොපි තාක්ෂණය.

covid-vaccine-pregnancy
Covid 19 එන්නත සහ ගර්භණී බව. ඔබේ ගැටළු වලට පිළිතුරු

folic-acid-pregnancy
ගැබ් ගැනීමට පෙර අනිවාර්යයෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතු ඇයි?

vaginal-discharge-pregnancy
ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?

anovulation
ඩිම්බ මෝරන්නෙ නැති වෙන හේතු

ecp-failure
හදිසි උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන්

heavy-menstrual-bleeding
ඔසප් වීම සමග රුධිර වහනය අධික වීමට හේතු සහ ප්‍රතිකාර

hysterectomy-options
ගර්භාෂය ඉවත් කරන්න පෙර මේ ගැන දැනගන්න.

coronavirus-pregnancy
Coronavirus ආසාදන තත්වය - ගැබිනි මවට උපදෙස්

POPULAR POSTS
emergency-contraception
හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගත හැකි ක්‍රම (Emergency contraception)

fertile-period
දරු පිළිසිඳ ගැනීමට සුදුසුම සරු කාලය

pregnancy-test
ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගන්නේ මෙහෙමයි (Pregnancy test)

iugr
මවු කුස තුල දරුවාගේ වර්ධනය අඩුද? (Intra Uterine Growth Restriction)

total-laparoscopic-hysterectomy
ගර්භාෂය නිසා ඇතිවෙන අධික වේදනාවට, රුධිර වහනයට එක් දිනෙන් සහනය දෙන TLH සැත්කම.

Nutrition
ගර්භණී සමයේ පෝෂණය (Nutrition in pregnancy)

hymen-virginity
කන්‍යා පටලය ගැන ඇත්ත දැන ගන්න

Early-pregnancy-vog
ගැබිනි මවක් මුලින්ම කළ යුතු දේ (Early pregnancy )

ivf
දරු සම්පත් පමාවන අයට පිහිට වෙන IVF ප්‍රතිකාර ක්‍රමය ගැන. (In Vitro Fertilization)