ශරීරයේ බර වැඩිද? කුරුලෑ අධිකද? ඔසප් චක්‍රය අක්‍රමවත්ද? ඔබටත් පොලිසිස්ටික් (Polycystic) විය හැකියි.

බොහෝ දෙනෙක් අසා ඇති එහෙත් වැඩි විස්තර නො දන්නා රෝගී තත්වයක් තමයි ඩිම්බ කෝෂ වල පොලිසිස්ටික් (PCOS) කියන රෝගය. ඒ නිසා ඒ ගැන මූලික අවබෝධයක් ලබා දීම තමයි මෙම ලිපියේ අරමුණ වන්නේ.

පොලිසිස්ටික් කියන නාමික අර්ථයෙන් ම ගත් විට මෙම රෝගයේ සරල හැඳින්වීම තමයි ඩිම්බ කෝෂ වල ගෙඩි ඇතිවීම කියන එක. තවත් සමහරු මෙය ඩිම්බ කෝෂ ඉදිමීම යනුවෙන් ද හඳුන්වනව. නමුත් මෙම ගෙඩි, භයානක වර්ගයේ හෝ ඉවත් කල යුතු ගණයේ ගෙඩි නොවෙයි. මේවා තමයි නො මේරූ ඩිම්බ. ඩිම්බ නිවැරදි පරිදි නො මේරීම හා නිසි කාලයට පිට නොවීම තමයි මෙම රෝගයේ රෝග නිධානය වන්නේ. එසේ වන්නේ ඇයි?

සාමාන්‍ය කාන්තාවකගේ ඔසප් චක්‍රය මැද දී ඩිම්බයක් පිටවී, චක්‍රය අවසානයේ රුධිර වහනය සිදු වන බව බොහෝ දෙනා දන්නා කරුණක්. මේ සඳහා ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ හෝමෝන අඩු වැඩි වීම නිවැරදිව පැවතීම අත්‍යවශ්‍යයි. නමුත් සමහර ජානමය බලපෑම් නිසා හෝ ශරීරයේ බර වැඩි වීම නිසා මෙම හෝමෝන සමබරතාවය බිඳී යනව. එවිට ඩිම්බ පිටවීම ක්‍රමවත් ව සිදු වන්නේ නැහැ. එම නිසා ඔසප් චක්‍රය අක්‍රමවත් වී ඔසප් වීම මාස කිහිපයකට වරක් පමණක් ඇති වීමට පුළුවන්. විවාහක කාන්තාවක් නම් ඩිම්බ පිටවීම ක්‍රමවත් නොවීම නිසා දරුඵලද ප්‍රමාද විය හැකියි. මෙම තත්වය හඳුන්වන්නේ polycystic ovarian syndrome යනුවෙනුයි. මෙහිදී මූලික ලක්ෂණ 3ක් හඳුනා ගැනීමට පුළුවන්.

1. ඔසප් චක්‍රය අක්‍රමවත් වීම

2. ඩිම්බ කෝෂ වල පොලිසිස්ටික් තත්වය/ඉදිමීම

3. හෝමෝන සමබරතාවය බිඳී යෑම නිසා ශරීරය තුල පුරුෂ හෝමෝන (androgen) අධික වීම.

මෙම හේතුව නිසා මුහුණේ කුරුලෑ අධික ලෙස ඇතිවීම, ශරීරයේ අධික ව රෝම ඇති වීම, සම අවපැහැ ගැන්වීම, හිස කෙස් ගැලවී යාම වැනි ලක්ෂණ ඇතිවිය හැකියි.

 

ඩිම්බ කෝෂවල පොලිසිස්ටික් තත්වය (PCOS) හඳුනා ගැනීම ඉතා ම පහසුයි. ඔබේ විශේෂඥ වෛද්‍ය වරයා විසින් රෝග ඉතිහාසය විමසීමෙන් පසු ස්කෑන් පරීක්ෂණයක් සහ සමහර විට ලේ පරීක්ෂණයක් සිදු කල පසු මෙය සනාථ කරනු ඇත. මේ තත්වය නිට්ටාවට සුව කර ගත හැකි ද? මේ සඳහා ඇත ප්‍රතිකාර ක්‍රම මොනවා ද?

 

ඔබ අවිවාහක නම් හෝ දැනට දරුවෙකු බලා පොරොත්තු නොවන කාන්තාවක් නම් කල යුතු ප්‍රතිකාරය ඉතා සරලයි. මෙම තත්වයෙන් මිදීමේ හොඳම සහ ස්වාභාවික ම ක්‍රමය නම් ශරීරයේ බර අඩු කර ගැනීමයි. ඒ සඳහා නිශ්චිත කාල සීමාවක් තුල ප්‍රායෝගික ඉලක්කයක් විශේෂඥ වෛද්‍ය වරයා විසින් ඔබට ලබා දෙනු ඇති. තෙල් සහ සීනි අඩංගු ආහාර අවම කිරීම, නිවැරදි ව්‍යායාම වලට යොමු වීම වැනි ක්‍රම වලින් ශරීරයේ බර අඩු කර ගත් විට හෝමෝන සමබරතාව නැවත ඇතිවී මෙම තත්වයෙන් මිදීමට හැකියාව ලැබෙනු ඇති. එතෙක් ඔබේ ඔසප් චක්‍රය නිවැරදිව පවත්වා ගෙන යෑමට සහ ශරීරයේ පුරුෂ හෝමෝන අධික වීම පාලනය කර ඉහත කී අපහසුතා වලින් මිදීම සඳහා අවශ්‍ය ඖෂධ වර්ග ද ඔබට ලබා දෙනු ඇති.

 

නමුත් ඔබ ගර්භණී වීමට බලාපොරොත්තු වන කාන්තාවක් නම් සිදු කරන ප්‍රතිකාර ක්‍රමය මීට වඩා වෙනස්. ආහාර පාලනය කිරීම හා ව්‍යායාම මගින් ශරීරයේ බර අඩු කර ගැනීම නම් ඉතා ම වැදගත්. මෙයට උදව් වීමට මෙට්ෆෝමින් (Metformin) වැනි ඖෂධයන්ද ඔබට ලබා දෙනවා ඇති. නමුත් ඔසප් චක්‍රය ක්‍රමවත් කරන හෝමෝන වෙනුවට මෙහිදී ඔබට ලබා දෙන්නේ ඩිම්බ මේරීම සඳහා ලබා දෙන ඖෂධයි. කලාතුරකින් කෙනෙකුගේ ඩිම්බ මේරීම මෙමගින්ද සිදු නොවුන හොත් ලැපරොස්කොපි ප්‍රතිකාරය (Laparoscopic ovarian drilling) මගින් ඩිම්බ මේරීම උත්තේජනය කිරීමටත් හැකියාව තිබෙනව. මෙම විද්‍යාත්මක ක්‍රම මගින් පොලිසිස්ටික් රෝගය ඇති බොහෝ දෙනෙකුට දරුවෙකුගේ සිහිනය සැබෑ කර ගැනීමට හැකියාව ලැබී තිබෙනව.

 

මේ නිසා පොලිසිස්ටික් (PCOS) යනු සම්පූර්ණයෙන්ම පාලනය කර ගත හැකි රෝග තත්වයක් බව දැන් ඔබට වැටහී ඇති. දීර්ඝ කාලීන ව පොලිසිස්ටික් තත්වය පැවතීම නිසා දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි නිදන් ගත රෝග ඇතිවීමේ අවධානමද වැඩි වන්නට පුළුවන්. මේ නිසා ඔබ විසින් කල යුත්තේ නිවැරදි ආහාර පුරුදු සහ ව්‍යායාම මගින් ශරීරයේ බර පාලනය කර පොලිසිස්ටික් තත්වයෙන් සම්පූර්ණයෙන්ම මිදීමයි.

Dr. Peshala Dangalla


Consultant Obstetrician & Gynaecologist

MBBS, MD (Colombo), MSLCOG, MRCOG (UK),
Fellowship in laparoscopy (AKOLA)


SHARE THIS WITH FRIENDS ON


LATEST POSTS
3D-4K-Laparoscopy
වඩාත් ආරක්ෂිත ලැපරොස්කොපි සැත්කමක් සඳහා 3D ලැපරොස්කොපි තාක්ෂණය.

covid-vaccine-pregnancy
Covid 19 එන්නත සහ ගර්භණී බව. ඔබේ ගැටළු වලට පිළිතුරු

folic-acid-pregnancy
ගැබ් ගැනීමට පෙර අනිවාර්යයෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතු ඇයි?

vaginal-discharge-pregnancy
ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?

anovulation
ඩිම්බ මෝරන්නෙ නැති වෙන හේතු

ecp-failure
හදිසි උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන්

heavy-menstrual-bleeding
ඔසප් වීම සමග රුධිර වහනය අධික වීමට හේතු සහ ප්‍රතිකාර

hysterectomy-options
ගර්භාෂය ඉවත් කරන්න පෙර මේ ගැන දැනගන්න.

coronavirus-pregnancy
Coronavirus ආසාදන තත්වය - ගැබිනි මවට උපදෙස්

POPULAR POSTS
emergency-contraception
හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගත හැකි ක්‍රම (Emergency contraception)

fertile-period
දරු පිළිසිඳ ගැනීමට සුදුසුම සරු කාලය

pregnancy-test
ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගන්නේ මෙහෙමයි (Pregnancy test)

iugr
මවු කුස තුල දරුවාගේ වර්ධනය අඩුද? (Intra Uterine Growth Restriction)

total-laparoscopic-hysterectomy
ගර්භාෂය නිසා ඇතිවෙන අධික වේදනාවට, රුධිර වහනයට එක් දිනෙන් සහනය දෙන TLH සැත්කම.

Nutrition
ගර්භණී සමයේ පෝෂණය (Nutrition in pregnancy)

hymen-virginity
කන්‍යා පටලය ගැන ඇත්ත දැන ගන්න

Early-pregnancy-vog
ගැබිනි මවක් මුලින්ම කළ යුතු දේ (Early pregnancy )

ivf
දරු සම්පත් පමාවන අයට පිහිට වෙන IVF ප්‍රතිකාර ක්‍රමය ගැන. (In Vitro Fertilization)