දරු පිළිසිඳ ගැනීමකට ඔබ සූදානම්ද?

දරු පිළිසිඳ ගැනීමකට පෙර සූදානම් විය යුතු බව ඔබ දැන සිටියාද? ඔබ දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කරන්නේ නම් ඒ පිළිබඳව දැන ගත යුතු කරුණු කිහිපයක් ගැන මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ.

ගැබ් ගැනීමට සුදුසු වයස කුමක්ද?

වයස අවුරුදු 18ට පෙර ගැබ් ගැනීම එතරම් සුදුසු නැහැ. වයස 18ක් පමණ වෙන තෙක් ගැහැණු දරුවෙක් ශාරීරිකව සහ මානසික වැඩීම සිදු වෙන නිසා ඊට පෙර ඇය ගැබ් ගැනීමට ශාරීරකව සහ මානසිකව සම්පූර්ණයෙන් සූදානම් නැහැ. ඒ වගේම වයස 18 අඩු මවකට ගර්භණී සමයේ සංකූලතා ඇතිවීමට ඇති අවදානමත් වැඩියි.

වයස අවුරුදු 35ට වඩා වැඩි වෙන විට මවට රෝග තත්වයන් ඇතිවීමට ඇති අවදානම වැඩියි. ඒ නිසාම ගර්භණී සමයේ අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි සංකූලතා බහුලව ඇති වෙනව. ඒ වගේම දරුවාගේ අසාමාන්‍ය තත්වයන් ඇතිවීමට ඇති අවදානමත් වයස වැඩිවීමත් සමග ටිකෙන් ටික වැඩි වෙනව.

මවක් වීමට පෙර ඔබේ ශරීර සෞඛ්‍යය ගැන සිතිය යුතු ඇයි?

මවට කිසියම් රෝග තත්වයක් ඇති නම් එය බිහිවෙන දරුවාට අවදානමක් වෙන්න පුළුවන්. එමෙන්ම ගර්භණී සමයේ මෙම රෝග තත්වයන් නිසා මවට සංකූලතා ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබට දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, අපස්මාරය, හෝමෝන අසමතුලිත බව වැනි රෝග තත්වයක් පවතීනම් එය හොඳින් පාලනය කර ගැනීම වැදගත්. ඔබ ගැබ් ගැනීමට බලා පොරොත්තු වෙන බව ප්‍රතිකාර ලබා ගන්න වෛද්‍ය වරයාට දැනුම් දී සුදුසු පරිදි ඖෂධ වෙනස් කරවා ගන්න.

උසට සරිලන බරක් තිබීම ගැබ් ගැනීමට වැදගත්

බර අඩුවීම නිසා දරුවාගේ වර්ධනයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඉතාමත් බර අඩු කාන්තාවන්ට ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න ඉඩ තිබෙනව. ඒ නිසා ගැබ් ගැනීමට උත්සාහ කරන විට ඔබේ BMI අගය 18.5 ට වඩා වැඩියෙන් තබා ගැනීම වැදගත් වෙනව. මෙම අගය 25ට වඩා වැඩි නම් ඔබ තරබාරු ගනයට වැටෙන අතර බර වැඩිවීම නිසා ගර්භණී සමයේ මෙන්ම දරු ප්‍රසූතියේදීත් සංකූලතා ඇතිවීමට අවදානම වැඩි වෙනව. බර වැඩි කාන්තාවන්ට ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මේරීම සාමාන්‍ය පරිදි සිදු නොවෙන නිසා ගැබ් ගැනීමට ප්‍රමාද වෙන්නත් ඉඩ තිබෙනව. ඒ නිසා ඔබේ BMI අගය වැඩි නම් ආහාර පාලනය සහ ව්‍යායාම කිරීම මගින් අවශ්‍ය ප්‍රමාණයට බර අඩු කරගෙන ගැබ් ගැනීමට උත්සාහ කරන්න. ඔබේ BMI අගය මෙතනින් ගණනය කර ගන්න පුළුවන්.

මවගේ පෝෂණය දරු පිළිසිඳ ගැනීමට වැදගත් වෙනව.

මව පෝෂණීය ආහාර වේලක් ගැනීම වැදගත්. ඒ වගේම අපේ ආහාර වල අවශ්‍ය ප්‍රමාණයට ෆෝලික් අම්ලය අඩංගු නොවෙන නිසා ෆෝලික් අම්ලය පෙති ලෙස ගැබ් ගැනිමට බලාපොරොත්තු වෙන සෑම කාන්තාවක්ම ලබා ගත යුතු වෙනව. එමගින් දරුවාගේ මොලය සහ සුෂුම්නාව ආශ්‍රිතව ඇතිවිය හැකි දරුණු සංකූලතා පහසුවෙන් වලක්වා ගැනීමට හැකියාව ලැබෙනව.

ලෙඩ රෝග වලින් දරුවා ආරක්ෂා කර ගනිමු.

මවට ගර්භණී කාලයේ සමහර රෝග තත්වයන් වැළඳෙන විට එය දරුවාට හානිකර වෙන්න පුළුවන්. ඒ නිසා රෝග වලට මවට ප්‍රතිශක්තියක් තිබීම වැදගත්. රුබෙල්ලා රෝගය නිසා මවුකුස තුල දරුවන්ට දරුණු සංකූලතා ඇතිවෙනව. මෙය රුබෙල්ලා ප්‍රතිශක්ති කරන එන්නත ගැබ් ගැනීමට පෙර ලබා ගැනීමෙන් වලක්වා ගන්න පුළුවන්. ඒ වගේම පිටගැස්ම රෝගය උපතේදී දරුවාට වැළඳීමට ඇති අවදානම අඩු කරන්න ගර්භණී කාලයේ පිට ගැස්ම එන්නත ලබා ගැනීමට හැකියාව තිබෙනව.

ගැබ් ගැනීමට සුදුසු කාලය.

ඉහත කරුණු සැලකිල්ලට ගත් පසු මව නිරෝගීව සිටීනම් ගැබ් ගැනිමට උත්සාහ කල හැකියි. ඔසප් චක්‍රයේ දින ගණන අනුව ඩිම්බ පිටවෙන දිනය අනුමාන කරන්න පුළුවන්. ඊට ආසන්න ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩිම කාලය සරු කාලය ලෙස හඳුන්වනව. මෙතනින් සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.

මෙසේ උත්සාහ කලද ගැබ් ගැනීමක් සිදු නොවේනම් අපි එයට මදසරු බව ලෙස හඳුන්වනව. ඒ ගැන වැඩි විස්තර වෙනත් ලිපි කිහිපයක දැක් වෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.

SHARE THIS WITH FRIENDS ON


LATEST POSTS
3D-4K-Laparoscopy
වඩාත් ආරක්ෂිත ලැපරොස්කොපි සැත්කමක් සඳහා 3D ලැපරොස්කොපි තාක්ෂණය.

covid-vaccine-pregnancy
Covid 19 එන්නත සහ ගර්භණී බව. ඔබේ ගැටළු වලට පිළිතුරු

folic-acid-pregnancy
ගැබ් ගැනීමට පෙර අනිවාර්යයෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතු ඇයි?

vaginal-discharge-pregnancy
ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?

anovulation
ඩිම්බ මෝරන්නෙ නැති වෙන හේතු

ecp-failure
හදිසි උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන්

heavy-menstrual-bleeding
ඔසප් වීම සමග රුධිර වහනය අධික වීමට හේතු සහ ප්‍රතිකාර

hysterectomy-options
ගර්භාෂය ඉවත් කරන්න පෙර මේ ගැන දැනගන්න.

coronavirus-pregnancy
Coronavirus ආසාදන තත්වය - ගැබිනි මවට උපදෙස්

POPULAR POSTS
emergency-contraception
හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගත හැකි ක්‍රම (Emergency contraception)

fertile-period
දරු පිළිසිඳ ගැනීමට සුදුසුම සරු කාලය

pregnancy-test
ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගන්නේ මෙහෙමයි (Pregnancy test)

iugr
මවු කුස තුල දරුවාගේ වර්ධනය අඩුද? (Intra Uterine Growth Restriction)

total-laparoscopic-hysterectomy
ගර්භාෂය නිසා ඇතිවෙන අධික වේදනාවට, රුධිර වහනයට එක් දිනෙන් සහනය දෙන TLH සැත්කම.

Nutrition
ගර්භණී සමයේ පෝෂණය (Nutrition in pregnancy)

hymen-virginity
කන්‍යා පටලය ගැන ඇත්ත දැන ගන්න

Early-pregnancy-vog
ගැබිනි මවක් මුලින්ම කළ යුතු දේ (Early pregnancy )

ivf
දරු සම්පත් පමාවන අයට පිහිට වෙන IVF ප්‍රතිකාර ක්‍රමය ගැන. (In Vitro Fertilization)