ලේ අඩුයිද? ගැබිණි මවට ඇති විය හැකි සංකූලතාවයක්

ලේ අඩුයිද? ගැබිණි මවට ඇති විය හැකි සංකූලතාවයක්

රක්තහීනතාවය ලෙස හඳුන්වන ලේ අඩු කම ඕනෑම අයෙකුට ඇතිවිය හැකි රෝග තත්වයක්. නමුත් ගර්භණී කාලයේ මෙවැනි තත්වයන් ඇතිවීමට අවදානම තරමක් වැඩියි. ලේ අඩු වීම නිසා ගැබිනි මවට මෙන්ම කුස තුල සිටින දරුවාටත් අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන් නිසා මේ ගැන විශේෂ අවධානයක් යොමු කිරීම අවශ්‍ය වෙනව.

මෙහි දී සිදු වෙන්නෙ රුධිරයේ හිමෝග්ලොබින් ප්‍රමාණය අඩු වීමයි. අපේ රුධිරයට රතු පාට ලැබෙන්නෙ හිමෝග්ලොබින් වලින්. ලේ අඩු වන විට සිරුර සුදු මැලි වීමක් ඇති වෙන්නෙ මේ නිසයි. හිමෝග්ලොබින් රතු රුධිරාණු තුල තිබෙන අතර එමගින් ශරීරයේ අවයව සහ පටක වලට ඔක්සිජන් ප්‍රවාහනය කිරීම සිදු කරනව. මෙම ක්‍රියාවලියට රතු රුධිරාණු වල ප්‍රමාණවත් ග්මෝග්ලොබින් මට්ටමක් පැවතීම අත්‍යවශ්‍ය වෙනව. එසේ නොමැති නම් මවගේ අවයව වලට මෙන්ම ගර්භාෂයටත් ඔක්සිජන් සැපයුම අඩු වෙන්න පුළුවන්.

ලේ අඩු කම හඳුනා ගැනීමට සෑම මවක්ම රුධිර පරීක්ෂණයකට ලක් කරයි. Full Blood Count (FBC) ලෙස හඳුන්වන මෙම පරීක්ෂණය ගර්භණී වූ වහාම සහ දරු ගැබට සති 28ක් පමණ වන විට දෙවරක් සිදු කර රුධිර හිමෝග්ලොබින් මට්ටම සාමාන්‍ය ලෙස ඇති දැයි තහවුරු කර ගැනීම වැදගත්. එහිදී හිමෝග්ලොබින් ප්‍රමාණය අඩු බව දැන ගත හොත් වහාම විශේෂඥ වෛද්‍ය සායනයකට ගොස් උපදෙස් ලබා ගැනීම සුදුසුයි.

රක්තහීනතාවයට විවිධ හේතු බලපානව. මින් බහුලවම දක්නට ලැබෙන තත්වය තමයි යකඩ ඌණතාවය. (Iron deficiency anaemia) මේ තත්වය FBC පරීක්ෂණය මගින් සැක කරන්න පුළුවන් වුවත් එය තහවුරු කර ගන්න වැඩි දුර රුධිර පරීක්ෂණ අවශ්‍ය වෙනව. යකඩ පෙති වැඩි මාත්‍රාවකින් ගැනීම මගින් යකඩ ඌණතාවය බොහෝ දුරට මග හරවා ගන්න පුළුවන්. නමුත් සමහර මව්වරුන්ට රුධිර පාරවිලයනය හෝ වෙනත් ඖෂධ ප්‍රතිකාර වෙත යොමු වීම අවශ්‍ය වෙනව.

යකඩ ඌණතාවයට අමතරව විටමින් B12, folic acid වැනි විටමින ඌණතාවයන් නිසාත් ලේ අඩු වීම ඇති වෙන්න පුළුවන්.

තවත් සමහර මව්වරුන්ට තැලසීමියා වැනි රෝග රක්තහීනතාවය ඇති වෙන්න පුළුවන්. තැලසීමියා වාහක තත්වයේ සිටින කාන්තාවන්ට ගර්භණී වෙන තෙක් කිසිම රෝග ලක්ෂණයක් ඇති නොවිය හැකි නිසා සමහර කාන්තාවන්ට මේ තත්වය ඇති බව මුලින්ම හඳුනා ගන්නෙ ගර්භණී කාලයේ ලේ අඩු විම නිසයි. තැලසීමියා තත්වය හා එවැනි වෙනත් රෝග තත්වයන් ඇති දැයි වැඩිදුර රුධිර පරීක්ෂණ මගින් තහවුරු කර ගන්න පුළුවන්.

රක්තහීනතාවය ඇති මවකට දරු ප්‍රසූතිය අවස්තාවේදී අධික රුධිර වහනයක් ඇති වුව හොත් එය දරා ගැනීමට අපහසු වෙන නිසා දරුණු සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රසූතියට පෙර රුධිරයේ හිමෝග්ලොබින් මට්ටම සාමාන්‍ය බවට තහවුරු කර ගැනීම වැදගත්. එසේ නැති නම් රුධිර පාරවිලයනය හෝ වෙනත් ප්‍රතිකාර අවශ්‍ය වෙනව.

මවගේ ලේ අඩු වීම නිසා දරුවාගේ වර්ධනය අඩු වීම, කලින් දරු ප්‍රසූතිය සිදු වීම වැනි සංකූලතා ඇති වෙන්න පුළුවන්. කලාතුරකින් හඳුනා නොගත් දරුණු රක්තහීනතාවය මල දරු උපත් වලට හේතු වෙන්න පුළුවන් නිසා සෑම මවක්ම මේ බව හඳුනා ගන්න රුධිර පරීක්ෂණ වලට ලක් වීම ඉතා වැදගත්.

මේ තත්වය වළක්වා ගන්න ගැබ් ගැනීමට පෙර සිටම රුධිරයේ හිමෝග්ලොබින් මට්ටම සාමාන්‍ය ලෙස පවත්වා ගැනීම අවශ්‍ය වෙනව. හිමෝග්ලොබින් මට්ටම අඩු නම් සුදුසු පෝෂණය සහ ප්‍රතිකාර මගින් එය සාමාන්‍ය වූ පසු ගැබ් ගැනීමට උත්සාහ කරන්න.

යකඩ ඌණතාවය ඇති මව්වරුන්ට මාළු, මස්, කරවල වැනි මාංශමය ආහාර ගැනීම ඉතා සුදුසුයි. ඊට අමතරව කොළ පැහැති පලා වර්ග සහ විටමින් C අඩංගු දෙහි, දොඩම් වැනි දේ ආහාරයට එක් කර ගැනීම අවශ්‍ය වෙනව. මේ මගින් බොහෝ විට යකඩ මට්ටම සාමාන්‍ය කර ගන්න පුළුවන්. ගර්භණී මව්වරුන්ට සායනයේ දී සති 12ක් වෙන විට යකඩ පෙති ලබා දෙනව. මෙම පෙති මගිනුත් ගර්භණී කාලයේ යකඩ ඌණතාවය ඇති වීමට අවදානම අඩු කර ගන්න පුළුවන්.

විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, රාගම
Visiting Consultant Obstetrician & Gynaecologist at Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo,
Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Browns Hospital - Ragama.

SHARE THIS WITH FRIENDS ON


Latest topics

Featured Articles