Results for Tag: Gynaecology (44)
පැලෝපීය නාල වල අවහිරතා ඇති දැයි සොයා බලන ලැපරොස්කොපි පරීක්ෂාව
දරු ඵල ප්‍රමාද වීම නැතහොත් දරු ඵල අහිමි වීම සඳහා බලපාන තවත් රෝග තත්වයක් වන පැලෝපීය නාලවල සිදුවන අවහිරතා සහ ඒවා හඳුනා ගන්නා පරීක්ෂණයක් ගැනයි මෙම ලිපියෙන් පැහැදිලි කෙරෙන්නේ.සාමාන්‍යයෙන් කාන්තාවකට පැලෝපීය නාල දෙකක් පිහිටා තිබෙනවා. ඒවා ගර්භාෂය දෙපැත්තේ පිහිටාතිබෙන අතර ඉතාමත්ම සියුම් නාල ලෙසයි පවතින්නේ. ඩිම්බ කෝෂයකින් ඩිම්බයක් පිටවූ අවස්තාවකදී එම ඩිම්බය ගර්භාෂය දක්වා රැගෙන ඒමයි පැලෝපීය නාලයක ප්‍රධාන කර්තව්‍යය. ඊට අමතරව ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකට එකතුවීම ස්වභාවිකව සිදුවන්නේත් මෙම පැලෝපීය නාල තුල දීයි. ඇත්තටම දරු පිළිසිඳ ගැනීමක් සිදු වන්නේ පැලෝපීය නාලයක් තුලදී කිව්වොත් නිවැරදියි. මෙයට අවශ්‍ය අභ්‍යන්තර පරිසරය පැලෝපීය නාලයක් තුල ස්වභාවයෙන් ම මැනවින් පිහිටා තිබෙනවා. එම නාල තුළ ඇත්තේ ඉතාමත් ම සියුම් බිත්තියක්. එම නාල තුල පිහිටි ඉතා සියුම් සීලියා (පක්ෂම) හෙවත් සියුම් රෝමකූප වල ක්‍රියාකාරීත්වයෙන් තමයි පැලෝපීය නාලයක් තුල දී ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකට එකතු වීමෙන් සෑදෙන යුක්තාණුව ගර්භාෂය දෙසට ගමන් කිරීම සිදුවෙන්නේ. යම් කිසි හේතුවක් නිසා කාන්තාවකගේ පැලෝපීය නාලවල අවහිරතාවක් සිදුවුවහොත් මේ ක්‍රියාවලිය අඩපණ වීම ඇතිවෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක දරු පිළිසිඳ ගැනීමේ අවස්ථාව එම කාන්තාවට අහිමි වෙන්න පුළුවන්.අපි හොයල බලමු මේ ආකාරයෙන් පැලෝපීය නාලවල අවහිර තත්වයන් ඇතිවෙන්න බලපාන හේතු මොනවද කියල.පළමු කරුණ තමයි පැලෝපීය නාල ආශ්‍රිතව ඇතිවන ආසාදිත තත්වයන්. එය තවදුරටත් පැහැදිලි කළොත්, පැලෝපීය නාල වලට විෂ බීජ ඇතුල්වීම නිසා Pelvic Inflammatory Disease කියන රෝග තත්වය ඇතිවීම. ගැබ් ගෙල හරහා ගර්භාෂය තුලින් පැලෝපීය නාල වලට ඇතුල්වන විෂ බීජයක් හේතුවෙන් හටගන්නා ආසාදනයක් නිසා සැරව ගැලීමක් පැසවීමක් ඇතිවුවහොත්, නැවත යථා තත්වයට පත්කිරීමට නොහැකි තත්වයට පැලෝපීය නාල අවහිර වෙන්න පුළුවන්. මෙවැනි විෂබීජ ආසාදනයක් ඇතිවූ පමණින්ම පැලෝපීය නාල අවහිර වෙන්නේ නැහැ, එහෙත් එවැනි අවස්ථාවක මුලික අදියරේදීම ඊට වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගතහොත් පැලෝපීය නාල අවහිරවීමේ අවදානම පවතින බව සිහිපත් කළ යුතුයි.පැලෝපීය නාල අවහිර වෙන්න බලපාන තවත් ප්‍රධානතම හේතුවක් ලෙස Endometriosis යන රෝග තත්වය සලකන්න පුළුවන්. මෙම රෝග තත්වය තිබෙන විට උදර කුහරය ඇතුළත අවයව එකිනෙකට ඇලීම් සිදු වෙනවා. පැලෝපීය නාල සහ ඩිම්බ කෝෂ ආශ්‍රිතව මෙවැනි ඇලීම් සිදු වෙන්න පුළුවන්. එවැනි ඇලීමක් සිදුවුවහොත් පැලෝපීය නාලයේ ස්වභාවික ක්‍රියාකාරිත්වයට බාධා ඇති වී එමගින් පැලෝපීය නාලය අවහිර වන අවස්ථා දකින්න පුළුවන්.උදරය ආශ්‍රිතව සිදුකරන වෙනත් සැත්කමක් නිසාත් පැලෝපීය නාල අවහිර වෙන්න පුළුවන්. කිසියම් හේතුවක් නිසා උදර කුහරය ඇතුළත සැත්කමක් සිදුකළහොත් එම සැත්කම නිසාම පැලෝපීය නාල අවහිර වන අවස්ථා තිබෙනවා. එවැනි සැත්කමකින් පසුව උදර කුහරය ඇතුළත අවයව එකිනෙකට ඇලීමට ඉඩ තිබෙන බැවින් පැලෝපීය නාල අවහිර වීමේ වැඩි අවදානමක් තියෙනවා.එමෙන්ම LRT වැනි සැත්කම් වලදීත් සිදුවෙන්න් පැලෝපීය නාලවල ක්‍රියාකාරිත්වයට බාධාවක ලෙස පැලෝපීය නාල අවහිර කිරීම. එවැනි සැත්කමක දී කාන්තාවකට ගැබ් ගැනීමේ හැකියාව නැති වී යාමයි සිදු වෙන්නේ.දැන් අපි සොයා බලමු පැලෝපීය නාලයක් අවහිරවී තිබේද යන්න හඳුනා ගන්නේ කෙසේද කියා. ඒ සඳහා ඇති ප්‍රධානතම හා සාර්ථකම පරීක්ෂණය ලෙස ලැපරොස්කොපි පරීක්ෂණය හඳුන්වන්න පුළුවන්. උදර කුහරය ඇතුළත ඉතාමත් සියුම් අවයව ඉතාමත් පැහැදිලි ලෙස පරීක්ෂා කළ හැකි ක්‍රමවේදයක් ලෙසයි ලැපරොස්කොපි පරීක්ෂණය භාවිතා කරන්නේ. විශාල කැපුම් නොයොදා, ඉතා කෙටි කාලයක් තුල වඩාත් නිවැරදි ලෙස උදරය ඇතුළත රෝග තත්වයන් හදුනා ගැනීමට හැකි වීමත්, රෝග තත්වයක් හදුනාගතහොත් එම අවස්ථාවේදීම උදරය විවෘත කිරීමකින් තොරව සැත්කමකින් පවතින තත්වය නිවැරදි කිරීමේ හැකියාවත්, සැත්කමෙන් පසු රෝගියාට දැඩි වේදනාවන් නො දැනීමත්, වෙනත් සංකූලතා නොමැති අවස්ථාවල සැත්කමෙන් දිනකට පසු නිවෙස බලා යාමට හැකි වීමත් මෙම ලැපරොස්කොපි පරීක්ෂණය හා ලැපරොස්කොපි සැත්කම්වල වාසිදායක තත්වයන් වනවා.මෙහි දී සිදු කරනු ලබන්නේ ඉතා සියුම් කැමරාවක් උදර කුහරය තුලට යොමු කර එම කැමරාවෙන් ලැබෙන සජීවී දර්ශන යොදා ගෙන වෛද්‍යවරයා උදර කුහරය පරීක්ෂා කර බැලීමයි. එහිදී පැලෝපීය නාලවල කිසියම් ඇලීම් තත්වයක් පවතීද, Endometriosis රෝග තත්වය තිබේ ද යන්න පිළිබඳව පැහැදිලිව හදුනා ගැනීමට හා සොයා ගැනීමට හැකියාව ලැබෙයි .ඊට අමතරව මෙම පරීක්ෂණයේ දී ගැබ් ගෙල හරහා වර්ණයක් ඇතුල් කිරීමත් සිදු කරනු ලබනවා.එහිදී ගැබ් ගෙල හරහා ඇතුල්වන මෙම වර්ණක ගර්භාෂය තුලට ගමන් කර එතුලින් පැලෝපීය නාල දක්වා ගමන් කර පැලෝපීය නාලවලින් පිටතට පැමිණීම සිදු වෙනවා. මේ ගමන් මග නිවැරදිව අවහිරතාවකින් තොරව පවතිනවා නම් ඒ බව ලැපරොස්කොපි පරීක්ෂණය සිදු කරන වෛද්‍යවරයාට දැක ගන්නට පුළුවන්. පැලෝපීය නාල දෙකින්ම මෙම වර්ණක පිටතට පැමිණෙනවා නම් එම නාලවල අවහිරතාවයක් නොමැති බව හා නිවැරදිව ක්‍රියාකරන බව තහවුරු කර ගැනීමට පිළිවන්.මෙම ලැපරොස්කොපි පරීක්ෂණය විනාඩි 15 ත් 30 ත් අතර කාලයක දී සිදු කළ හැකි වන අතර පූර්ණ නිර්වින්දනය හෙවත් සිහිනැති කිරීමකින් පසුව සිදු කළ යුතු වනවා. එහිදී කාන්තාවගේ නාභිය හෙවත් බුරිය ප්‍රදේශයේ සෙන්ටි මීටරයක පමණ කුඩාවට කැපුමක් යොදා ඉතා සියුම් කැමරාවක් සහිත ලැපරොස්කොපි ශල්‍ය උපකරණය ඇතුල් කරනු ලබනවා. ඊට අමතරව ලැපරොස්කොපි පරීක්ෂණයේ පහසුව වෙනුවෙන් උදරයේ ඇති වෙනත් අවයව පිහිටා ඇති ආකාරය අනුව කැමරාවෙන් පරීක්ෂා කිරීමේ පහසුව සඳහා උදරයේ පහල ප්‍රදේශයෙන් සෙන්ටි මීටර 1/2 ක කැපුමක් යොදා තවත් සියුම් ශල්‍ය උපකරණයක් ඇතුල් කරනු ලබනවා. ඒ සඳහා පහසුකම් ඇති රෝහලකට යොමු වීමෙන් මෙවැනි කුඩා කැපුම් 2 ක් පමණක් යොදා ගනිමින් ලැපරොස්කොපි පරීක්ෂණය ඉතාමත් ම පහසුවෙන් සිදුකර ගැනීමට හැකියාව තිබෙනවා. දරුණු ලෙස පැලෝපීය නාල ඇලී තිබෙන Endometriosis වැනි රෝග තත්වයක් හෝ එසේත් නැත්නම් ඩිම්බ කෝෂවල ගෙඩි හට ගෙන ඇති තත්වයක් එම පරීක්ෂණයේ දී හදුනා ගැනීමට හැකිවුවහොත් උදරය විවෘත කිරීමකින් තොරව යථා තත්වයට පත්කිරීමේ හැකියාව තිබෙන බවත් සඳහන් කළ යුතුයි.සටහන - ප්‍රියන්ත හීන්පැල්ල..
එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය සඳහා සිදු කරන ශල්‍යකර්ම
එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය  පිළිබඳව මෙයට පෙර පල කල ලිපි මගින් දැනටමත් ඔබ දැනුවත්ව ඇති බව අපි විශ්වාස කරන්නෙමු. මෙවර ලිපියෙන් අප ඔබ දැනුවත් කිරීමට සූදානම් වන්නේ  එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය සඳහා සිදු කරන ශල්‍යකර්ම පිළිබඳවය. මෙම රෝග තත්ත්වය ඇති වීමට ප්‍රධානතම හේතුව ගර්භාෂයේ පමණක් පිහිටන එන්ඩොමෙට්‍රියම් සෛල ගර්භාෂයෙන් පිට විවිධ ස්ථාන වල එනම් ගර්භාෂයේ පිටත බිත්තිය මත, ශ්‍රෝණි කුහරයේ බිත්ති මත, පැලෝපීය නාල හෝ ඩිම්බ කෝෂ මත ඇතිවීමයි. ස්කෑන් පරීක්ෂණයක් මගින් මෙම රෝග තත්ත්වය නිර්ණනය කරගත හැකි වුවත් ලැපරොස්කොපි පරීක්ෂණය මගින් නිවැරදිවම මෙම තත්ත්වය හඳුනා ගත හැකිය. ඒ අනුව එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය නිසා ඇති වන වේදනාව සඳහා වේදනා නාශක මගින් තාවකාලික සහනයක් ලබා ගත හැකි වුවත් දරුඵල අපේක්ෂාවෙන් සිටින කාන්තාවකට නම් වේදනා නාශක වලින් සාර්ථක විසඳුමක් ලබා ගත නොහැකිය. එනිසා එවැනි රෝගී කාන්තාවකට ශල්‍යකර්ම මගින් යහපත් තත්ත්වයක් ඇති කර ගැනීමට හැකියාව ඇත. ලැපරොස්කොපි ශල්‍යකර්මය දරුණු ලෙස එන්ඩොමෙට්‍රියෝසිස් ඇත්නම් ලැපරොස්කොපි ශල්‍යකර්මයක් මගින් එන්ඩොමෙට්‍රියම් සෛල ඉවත් කල හැකියි. මෙය  එන්ඩෝමේට්‍රොසිස් රෝගයට නිශ්චිත ප්‍රතිකාරය වන අතර, එහිදී ශ්‍රෝණි කුහරය තුල ඇති එන්ඩොමෙට්‍රියම් සෛල ඉවත් කිරීම හා පිළිස්සීම සිදුකෙරේ. මෙමගින් වේදනාව අඩු වන අතර නැවතත් සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු වල යෙදෙන්න හැකියාව ලැබේ. එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය ඇති විට පැලෝපීය නාල අවහිර වීමත් පටක එකිනෙකට ඇලීමත් නිසා ඩිම්බයට පැලෝපීය නාලය කරා ගමන් කිරීමට නොහැකිවේ. එ නිසා දරු පිළිසිඳ ගැනීම පමා වීමට විසඳුමක් ලෙස මෙම අවහිරතා ඉවත් කර ඩිම්බයක් පැලෝපීය නාලය වෙත පැමිණීමට හැකි පරිදි සකස් කිරීමට ලැපරොස්කොපි ශල්‍යකර්මයක දී හැකියාව ඇත. මදසරු බවට ප්‍රතිකාර ලෙස එන්ඩොමෙට්‍රියොසිස් සෛල ඉවත් කරන ලැපරොස්කොපි ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසු ඇතැම් විට හෝමෝන ප්‍රතිකාර මාස කිහිපයක් ලබා ගැනීමට සිදුවේ. හෝමෝන ප්‍රතිකාර මගින් මාස 3-9 දක්වා කාලයක් ඔසප් නැවතීමට ප්‍රතිකාර කරනු ලබයි. මෙහිදී බලාපොරොත්තු වනුයේ ගර්භාෂයෙන් පිටත වර්ධනය වන එන්ඩොමෙට්‍රියෝසිස් සෛල වර්ධනය නතර කිරීමයි. එසේ වර්ධනය නතර කිරීමෙන් ඒවා විනාශ වේ. ප්‍රතිකාර පටන් ගත් පසු අඛණ්ඩව මාස 09ක් ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍යය. ඒ සඳහා සාමාන්‍ය උපත් පාලන පෙති, ප්‍රොජෙස්ටරෝන් මෙන්ම GnRH analogues නැමැති හෝර්මෝන ඉන්ජෙක්ෂන් යොදා ගනියි. මෙම ප්‍රතිකාර ක්‍රමයේදී අතුරු ආබාධ අවමය. සාර්ථක සැත්කමකින් පසුව වසර 2- 3ක් යනතුරු නැවත රෝගය මතුනොවේ, ඔසප් වීමේදී සහ ලිංගික සම්බන්ධතවෙදී වන වේදනාව සඳහා විසඳුමක් ලැබෙන අතරම දරුඵල අපේක්ෂිත කාන්තාවන්ට, ගැබ් ගැනීමේ සම්භාවිතාව ද වැඩිවේ. මෙම එන්ඩොමෙට්‍රියෝසිස් සෛල නැවත වර්ධනය වීමේ අවදානමක් ඇති නිසා, ප්‍රතිකාර කිරීමෙන් පසු  ඉතා ඉක්මනින් පිළිසිඳ ගැනීමකට සූදානම් විය යුතුය. ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමඉහත ප්‍රතිකාර ක්‍රම මගින් සහනයක් නොලැබිය හැකි පරිදි රෝගය ඉතා දරුණු නම් ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම මගින් සම්පූර්ණ සුවය ලබා දිය හැකිය. මෙම ක්‍රමය සුදුසු වන්නේ නැවත දරුපළිසිඳ ගැනීමක් අපේක්ෂා නොකරන කාන්තාවන්ටයි.   සටහන -  දිශාන්ති වෙදගේ..
ඩිම්බ කෝෂ වල ගෙඩි සඳහා සිදු කරන ලැපරොස්කොපි ශල්‍ය කර්ම. Laparoscopic surgery for ovarian cysts
ලැපරොස්කොපි සැත්කම් පිළිබඳව බොහෝ කරුණු මීට පෙර ලිපි වලින් ඉදිරිපත් කර තිබෙනව.  මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙන්න ඩිම්බ කෝෂවල ගෙඩි ඉවත් කරන සැත්කම් ගැන ඔබ දැනුවත් කිරීමයි. දැනට කාන්තා රෝග වලට සිදු කරන සැත්කම් වලින් බොහොමයක්ම ලැපරොස්කොපි ක්‍රමයට ඉතාමත් ආරක්ෂිව සිදුකරන්න පුළුවන්. එහිදී සිරුරට සිදු වන හානිය සහ අතුරු ආබාධ අඩු නිසා සැත්කමෙන් පසු ඉතා ඉක්මණින් පූර්ණ සුවය ලැබෙනව.බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක් තමයි ඩිම්බ කෝෂ වල ගෙඩි ඇතිවීම. මෙලෙස හඳුනා ගනු ලබන ගෙඩි වලින් බහුතරයක්ම කිසිම ප්‍රතිකාරයකින් තොරව ඉබේම හැකිලී යනව. ඒ නිසා ස්කෑන් පරීක්ෂණයකදී ඩිම්බ කෝෂයක ගෙඩියක් ඇති බව හඳුනා ගත් පමණින් එයට සැත්කමක් සිදු කිරීම හෝ හැකිලීමට ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය නැහැ. නමුත් ඩිම්බ කෝෂ වල ඇති වෙන සමහර ගෙඩි මෙලෙස ඉබේ හැකිලී යන්නෙ නැහැ. ඒවා ක්‍රමයෙන් විශාල වීමට, සංකූලතා ඇති වීමට හෝ පිළිකා බවට පත්වීමට අවදානමක් ඇතිදැයි ඔබේ වෛද්‍ය වරයාට නිගමනය කරන්න පුළුවන්. එවැනි අවදානමක් ඇති විට ඊට සැත්කමක් සිදු කිරීම අවශ්‍ය වෙනව. ඩිම්බ කෝෂ වල පිළිකා සඳහා කරන සංකීර්ණ සැත්කම් හැර අනිකුත් සියළුම සැත්කම් දැන් ලැපරොස්කොපි ක්‍රමයට සිදුකරන්න පුළුවන්. එවැනි සැත්කමකදී සිරුරට සිදුවෙන හානිය අවමයි. ඒ වගේම ඩිම්බ කෝෂයේ සාමාන්‍ය සෛල ඉවත් කිරීමකින් තොරව ගෙඩිය පමණක් ඉවත් කල හැකි  නිසා නැවත දරු පිළිසිඳ ගැනීමට බාධාවක් ඇති වෙන්නෙ නැහැ. ඒ වගේම සැත්කම සිදු කරන දිනයේම හෝ පසු දින රෝහලෙන් බැහැර වීමටත් දින කිහිපයක් ඇතුලත සාමාන්‍ය වැඩකටයුතු නැවත ආරම්භ කිරීමටත් හැකියාව ලැබෙනව. ලැපරොස්කොපි සැත්කමකදී උදරයේ සෙන්ටිමීටරයකට වඩා කුඩා කැපුම් තුනක් පමණක් සිදු කර උදරය ඇතුලත සජීවී වීඩියෝ දර්ශණ ලබා ගන්නා අතර ඒ ආධාරයෙන් ඉතා සියුම් ශල්‍ය උපකරණ භාවිතා කරමින් සැත්කම සිදු කරන්නෙ. ඩිම්බ කෝෂ වල ඇති වෙන ඉතා විශාල ගෙඩියක් වුවත් මෙම ක්‍රමයට ආරක්ෂිතව සිරුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය තාක්ෂණය දැන් තිබෙනව. මේ පිළිබඳ වැඩි විස්තර පහත ලින්ක් වලින් බලා ගන්න පුළුවන්.ඩිම්බ කෝෂ වල ගෙඩි1. ලිපිය - ඩිම්බ කෝෂ වල ඇති වෙන ගෙඩි2. රූපවාහිනී වැඩසටහන3. ගුවන් විදුලි වැඩසටහනලැපරොස්කොපි සැත්කම්1. ලිපිය - විවෘත සැත්කම් වෙනුවට විශාල කැපුම් නැති ලැපරොස්කොපි සැත්කම් 2. රූපවාහිනී වැඩසටහන..
සුද යාමට සහ යෝනි මාර්ගය ආශ්‍රිත කැසීමට හේතු වෙන Vaginal Candidiasis රෝග තත්වය
සුද යාමට සහ යෝනි මාර්ගය ආශ්‍රිත කැසීමට හේතු වෙන දිලීර ආසාදන තත්වයක් තමයි Vaginal candidiasis කියන්නෙ. මෙය ඉතා සුලබ රෝග තත්වයන්. කාන්තාවන්ගෙන් 75%කටම කෙදිනක හෝ මෙම ආසාදන තත්වය ඇතිවෙන්න ඉඩ කඩ තිබෙනව. ඕනෑම වයසකදී දිලීර ආසාදන තත්වයන් ඇතිවිය හැකි නමුත් මෙම තත්වය වයස 30 – 49 ත් අතර කාන්තාවන් අතර බහුලයි. සමහර කාන්තාවන්ට මෙවැනි ආසාදන නිතර නිතර ඇතිවීම දක්නට ලැබෙනව. මෙම ආසාදනයට හේතු වෙන්නේ නමින් හඳුන්වන යීස්ට් වර්ගයට අයත් දිලීරයක්. vaginal candidiasis තත්වය නිසා ඇතිවන සුලබ රෝග ලක්ෂණ තමයි  යෝනි මාර්ගයෙන් කිරි පැහැති ඝනකම් ස්‍රාවයක් පිටවීම, ඒ අවට කැසීමක් දැවිල්ලක් ඇතිවීම, ලිංගික එක්වීමේදී සුළු වේදනාවක් ඇති වීම. මෙවැනි රෝග ලක්ෂණ ඇති විට පරීක්ෂාවකින් තොරවම මෙම රෝග තත්වය හඳුනා ගන්න වෛද්‍ය වරයෙකුට හැකියාව තිබෙනව. වැඩිදුර වෛද්‍ය පරීක්ෂාවන් අවශ්‍ය වෙන්නෙ නැවත නැවත දිලීර ආසාදන තත්වයන් ඇතිවෙන විටයි. සිරුරේ ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම වැඩි වන විට යෝනි මාර්ගයේ දිලීර ආසාදන තත්වයන් ඇතිවීම බහුලයි. ඒ නිසා මේ තත්වය ඊස්ට්‍රජන් හෝමෝන ලබා ගන්නා කාන්තාවන්ට වගේම පොලිසිස්ටික් ඔවරි සින්ඩ්‍රෝම් වැනි රෝග තත්වයන් ඇතිවිටත් වැඩිපුර දක්නට ලැබනෙව. ඊට අමතරව දියවැඩියාව, ප්‍රතිශක්ති පද්ධතියේ දුර්වල වෙන HIV වැනි රෝග තත්වයන්, වෙනත් ආසාදන සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම, ගර්භණී වීම වැනි හේතු vaginal candidiasis රෝග තත්වය ඇතිවීමට අවදානම් සාධක ලෙස හඳුනා ගෙන තිබෙනව. නමුත් මේ කිසිම අවදානම් තත්වයක් නොමැතිවත් මෙම ආසාදනය ඕනෑම කාන්තාවකට ඇති වෙන්න පුළුවන්. ඔබට මෙවැනි ආසාදන තත්වයක් ඇති නම් වෛද්‍ය උපදෙස් අනුව දිලීර නාශක ඖෂධ වර්ගයක් ලබා ගන්න පුළුවන්. මෙම ඖෂධ ගිලින පෙති, යෝනි මාර්ගය තුලින් ඇතුළු කරන පෙති, සහ ආලේපන වර්ග විදියට ලබා ගන්න පුළුවන්. ඉන් ඔබට වඩාත් සුදුසු ඖෂධය වෛද්‍ය වරයා නිර්දේශ කරාවි. මෙම දිලීර රෝගය බොහෝවිට ඖෂධ මගින් සුව කරන්න පුළුවන්. ඔබට මුලින්ම රෝගය සුව කිරීමට ඖෂධ ලබා දෙන අතර, ඉන් පසු නැවත ඇති වීම වැලැක්වීමට මාස 6ක පමණ කාලයක් ඖෂධ ලබා ගැනීමට අවශ්‍ය විය හැකියි. ඖෂධ ලබා ගැනීමේදී නිර්දේශ කල සම්පූර්ණ කාල සීමාවම ඖෂධ ලබා ගැනීම වැදගත් වෙනව. එසේ නොමැති නම් යෝනි මාර්ගය තුල දිලීර ඉතිරිව තිබී ඉක්මණින් නැවත ආසාදන තත්වය ඇතිවීමට වගේම ඖෂධ වලින් පාලනය කිරීම අපහසු වීමටත් අවදානමක් තිබෙනව. සම්පූර්ණ කාල සීමාවම ඖෂධ ලබා නොගැනීම සහ කලින් සඳහන් කල දියවැඩියාව වැනි රෝග තත්වයන් මෙලෙස නැවත නැවත දිලීර ආසාදන ඇතිවීමට හේතු ලෙස සලකන අතර කිසිම අවදානම් තත්වයක් නෙමැතිවත් නැවත නැවත vaginal candidiasis රෝග තත්වය ඇති වෙන කාන්තාවන් සිටිනව. මෙම රෝග තත්වය ඇතිවීම වළක්වා ගැනීමට සැහැල්ලු කපු යට ඇඳුම් භාවිතා කිරීම, යෝනි මාර්ගය ආශ්‍රිත ප්‍රදේශය වියලිව තබා ගැනීම, දියවැඩියාව වැනි රෝග තත්වයන් හොඳින් පාලනය කර ගැනීම වැනි පියවර වැදගත් වෙනව. ආසාදන තත්වයක් ඇති විය ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන ඖෂධ රෝග ලක්ෂණ සමනය වීමත් සමග නතර නොකර සම්පූර්ණ කාල සීමාවටම ලබා ගන්න.ගර්භණී සමයේ මෙවැනි තත්වයක් ඇති වුව හොත් ඒ ගැන විශේෂයෙන් සලකා බැලීම අවශ්‍ය වෙනව. ඒ ගැන වැඩි විස්තර වෙනත් ලිපියක පල කර තිබෙනව. ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?..
ගබ්සාවකට පසු නැවත ගැබ් ගැනීමට උපදෙස්.
ගබ්සාවක් කියන්නෙ දරු ඵල අපේක්ෂාවෙන් සිටින සමහර කාන්තාවන් මුහුණ දෙන අමිහිරි අත්දැකීමක්. මුත්‍රා පරීක්ෂාව මගින් තහවුරු කර ගන්න සෑම ගැබ් ගැනීම 8කට එක ගබ්සාවක් සිදු වෙනව. ඊට පෙර සිදු වන ගබ්සාවන් කොපමණ දැයි ගණනය කරන්න අපහසුයි. ගබ්සා වීම ගැන වැඩි විස්තර මීට පෙර ලිපියක සඳහන් කලා. මේ ලිපියේ අරමුණ වෙන්නෙ ගබ්සාවකින් පසු නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන ඔබට ඒ ගැන අවබෝධයක් ලබා දීමයි. බොහෝ විට ගබ්සාවන් සිදු වෙන්නෙ මුල් මාස තුන ඇතුළතයි. මෙය ස්වභාවික වරනය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්. ජීවත් වීමට සුදුසු ජානමය සංයුතියකින් තොරව පිළිසිඳ ගන්නා කලලයන් ස්වභාවිකවම මිය යන අතර එය ඉවත් වීම ගබ්සාවක් ලෙස සිදු වෙනව. එවැනි ගබ්සාවන් වැළැක්වීමට ක්‍රමයක් නැහැ. එකවරක් එලෙස ගබ්සා වීම නැවත නැවත ගබ්සා වීමට හේතු වෙන්නෙ නැහැ. ඒ නිසා ඔබට නැවත පිළිසිඳ ගැනීමට බාධාවක් නැහැ. නමුත් ගබ්සාවක් වැනි අමිහිරි අත් දැකීමකට පසු ඔබ ඉක්මණින්ම නැවත පිළිසිඳ ගැනීමකට මානසික ව සූදානම් නොමැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ මානසික තත්වය පිළිබඳ අවධානය යොමු කරන්න. ගර්භාෂයේ ඇතුළත ස්තරය සෑම ඔසප් චක්‍රයක දීම අලුතින් ගැබ් ගැනීමට සුදුසු පරිදි සකස් වෙන නිසා ගබ්සාවෙන් පසු නැවත ගැබ් ගැනීමට ශාරීරිකව බාධාවක් නැහැ. ඔබේ මාසික ඔසප් චක්‍රය නැවත ආරම්භ වූ වහාම නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්. නැවත පිළිසිඳ ගැනීම ප්‍රමාද කිරීමට අවශ්‍ය නම් පමණක් කෙටි කාලයකට උපත් පාලන ක්‍රමයක් භාවිතා කල හැකියි. ඉක්මනින් නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන විට ෆෝලික් අම්ලය දිගටම ලබා ගැනීම අවශ්‍ය වෙනව. ඒ වගේම ගබ්සාව අවස්ථාවේ අධික රුධිර වහනයක් සිදු වුනි නම් ඒ ගැන සොයා බලා නවත ගැබ් ගැනීමට පෙර රුධිරයේ හිමෝග්ලොබින් මට්ටම සාමාන්‍ය කර ගැනීමට සුදුසු ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනව. මෙහි දී ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව යකඩ පෙති ලබා ගැනීම වැනි ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. ගැබ් ගැනීමට පෙර ඔබේ සෞඛ්‍ය තත්වය ප්‍රශස්ත මට්ටම පවත්වා ගැනීම වැදගත්. ගබ්සා වීමෙන් පසු උණ, උදරයේ වේදනාව, දිගින් දිගට රුධිර වහනය සිදු වීම වැනි ලක්ෂණ තිබුනි නම් වෛද්‍ය වරයා ඒ පිළිබඳ දැනුවත් කර විෂබීජ ආසාදන තත්වයක් ඇති දැයි පරීක්ෂා කරවා ගැනීම අවශ්‍යයි. විෂබීජ ආසාදන තත්වයක දී එය සම්පූර්ණයෙන් සුව වෙන තෙක් ප්‍රතිජීවක ඖෂධ වෛද්‍ය නිර්දේශය අනුව ලබා ගැනීමට සිදු වෙනව. කලාතුරකින් ගබ්සාවකින් පසු දිගින් දිගටම රුධිර වහනය පවතින්න පුළුවන්. එවැනි අවස්ථාවක වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම අවශ්‍යයි. වෛද්‍ය පරීක්ෂාවන් පසු ඊට සුදුසු ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. එලෙස ප්‍රතිකාර අවශ්‍ය වූ විටෙක වෛද්‍ය වරයා උපදෙස් ලබා දෙන තෙක් නැවත ගැබ් ගැනීමට උත්සාහ කිරීම සුදුසු නැහැ. කලාතුරකින් ගබ්සාවට හේතුව මවගේ රෝග තත්වයක් වෙන්න පුළුවන්. එවැනි තත්වයන් සොයා ගැනීමට පරීක්ෂණ අවශ්‍ය දැයි ඔබේ වෛද්‍ය වරයා තීරණය කරනව. පරීක්ෂණ වලදී කිසියම් ගැට‍ළුවක් හඳුනා ගතහොත් එය නිවැරදි කිරීම සඳහා නැවත ගැබ් ගත් පසු ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. රුධිර කැටි ගැසීමේ අසාමාන්‍යතා ඇති කාන්තාවන්ට නැවත ගැබ් ගත් පසු රුධිර කැටි ගැසීම අඩු කරන ඖෂධ ලබා දීම, ගැබ් ගෙල දුර්වලතාවයක් ඇති කාන්තාවන්ට එය ශක්තිමත් කිරීමට මැහුමක් යෙදීම වැනි ප්‍රතිකාර ක්‍රම නැවත ගබ්සා වීම වළක්වා ගන්න සමහර විට භාවිතා කරනව. නමුත් බොහෝ විට නැවත වරක් ගබ්සාවක් වෙන්නෙ නැති නිසා එක් ගබ්සාවකට පසු බහුතරයකට වැඩිදුර පරීක්ෂණ හෝ ප්‍රතිකාර කිරීම අවශ්‍ය නැහැ. ඔබට කැමති කාල සීමාවක දී නැවත ගැබ් ගන්න උත්සාහ කරන්න පුළුවන්. පහත ලිපි වලින් වැඩිදුර විස්තර දැන ගන්න පුළුවන්. ගබ්සාවන් ගැන වැඩි විස්තර දරු පිළිසිඳ ගැනීමට අපේක්ෂා කරන කාන්තාවන් වැදගත් උපදෙස්.    ..