Results for Tag: Gynaecology (44)
කැපුම් තුවාල රහිතව ගර්භාෂය ඉවත් කරන සැත්කම (NDVH)
ස්වභාවිකව දරුවෙකු බිහි වීම සිදු වන්නෙ යෝනි මාර්ගය හරහායි. ඒ වගේම ගර්භාෂය ඉවත් කරන සැත්කම වුවත් යෝනි මාර්ගය හරහා සිදු කිරීමට හැකියාව තිබෙනව. එහිදී උදරයේ කිසිම කැපුමක් යෙදීමට අවශ්‍ය වෙන්නෙ නැහැ. සියළුම කැපුම් සහ මැහුම් යොදන්නෙ යෝනි මාර්ගය ඇතුළතින් පිටතට නො පෙනෙන ආකාරයටයි. ගර්භාෂය ඉවත් කරන ලැපරොස්කොපි ක්‍රමයට සහ උදරය විවෘත කර සිදු කරන සැත්කම් පිළිබඳ ව විස්තර වෙනත් ලිපියක අඩංගු වෙනව. මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නෙ යෝනි මාර්ගය හරහා සිදු කරන ගර්භාෂය ඉවත් කරන සැත්කම පිළිබඳවයි. සාමාන්‍යයෙන් ගර්භාෂය පහත් වීමට ප්‍රතිකාර ලෙස යෝනි මාර්ගය තුලින් ගර්භාෂය ඉවත් කිරීම බහුලව සිදු කරන සැත්කමක්. ඊට අමතරව වෙනත් හේතුවක් නිසා ගර්භාෂය ඉවත් කිරීමට අවශ්‍ය වන විටකත්, එම සැත්කමත් යෝනි මාර්ගය හරහා ම සිදු කිරීමට හැකියාව තිබෙනව. කෙසේ වෙතත් ගර්භාෂය පහත් වීමක් නොමැති විට බොහෝ වෛද්‍ය වරු මෙම සැත්කම සිදු කරන්නේ උදරය විවෘත කිරීමෙනුයි. යෝනි මාර්ගය තුලින් ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමේ ඇති වාසි. 1. උදරයේ කිසිම කැපුමක් හෝ මැහුම් යෙදීමක් අවශ්‍ය නොවීම 2. සිහි නැති කිරීමට අවශ්‍ය නොවීම. මෙය සිසේරියන් සැත්කමක දී මෙන් හිරි වැටීම සඳහා කොන්දට නිර්වින්දන ඖෂධ නික්ෂේපණයක් ලබා දී සිදු කරන්න පුළුවන්. 3. සැත්කම සඳහා ගතවන කාල වේලාව සහ වියදම ලැපරොස්කොපි සැත්කමකට සාපේක්ෂව අඩු වීම නමුත් මෙම සැත්කම ලැපරොස්කොපි සැත්කම වගේම සෑම කාන්තාවකට සුදුසු නැහැ. සමහර අවස්තා වලදී විවෘත සැත්කමක් හෝ ලැපරොස්කොපි සැත්කමක් අවශ්‍ය වෙන්න පුළුවන්. උදා. 1. ගර්භාෂය ප්‍රමාණයෙන් විශාල වීම නිසා යෝනි මාර්ගය හරහා ඉවත් කිරීම අපහසු වීම. 2. කලින් සැත්කම් නිසා උදර කුහරය ඇතුළත ඇලීම් ඇතිවී තිබෙනම් මේ ක්‍රමයට ඒවා ආරක්ෂිත ව ඉවත් කිරීම අපහසුයි. 3. මේ සඳහා පුහුණු නාරිවේද වෛද්‍ය වරයෙකු අවශ්‍ය වෙනව. සෑම වෛද්‍ය වරයෙකුටම මෙවැනි සැත්කමක් කිරීමට අවශ්‍ය නිපුණතාවය නැහැ. 4. කලාතුරකින් සැත්කම සිදු කරන අවස්තාවේ අභන්තර රුධිර වහනයක් ඇති බව දැන ගැනීම. මොකක්ද මේ සැත්කමේ දී සිදු වෙන්නෙ? මුලින් ම සැත්කම සඳහා නිර්වින්දන ඖෂධ නික්ෂේපණයක් ලබා දීම සිදු කරනව. එය සිසේරියන් සැත්කමක දී මෙන් කොන්දට ලබා දෙන නික්ෂේපණයක් ලෙසයි ලබා දෙන්නෙ. පියවි සිහිය තිබිය දීම මෙම සැත්කම සිදු කරන්න මේ ඖෂධ මගින් ලැබෙන නිර්වින්දනය ප්‍රමාණවත් වෙනව. නමුත් සමහර විට පූර්ණ නිර්වින්දනය (සිහි නැති කිරීම) අවශ්‍ය වෙන්න පුළුවන්. ඉන් පසු යෝනි මාර්ගය ඇතුළත කුඩා කැපුමක් යොදා ගර්භාෂය කොටසින් කොටස සිරුරෙන් වෙන් කිරීම සිදු කරනව. අවසානයේ ගර්භාෂය යෝනි මාර්ගය තුලින් ම පිටතට ගැනීම සිදු කරනව. මෙහි දී රුධිර වාහිනි අවහිර කර සැත්කම අවස්තාවේදී සහ ඉන් පසුව ඇතිවිය හැකි රුධිර වහනයන් නතර කිරීමට කටයුතු යොදනව. ගර්භාෂය ඉවත් කිරීමෙන් පසු අවශ්‍ය නම් පැලෝපීය නාල සහ ඩිම්බ කෝෂ ඉවත් කිරීමේ සැත්කමත් ඒ අවස්තාවේදීම සිදු කරන්න පුළුවන්. මෙම සැත්කමෙන් පසු මුත්‍රා පිට වීමට මුත්‍රා බටයක් දැමීම බොහෝ විට සිදු කරනව. එය පැය 12කදී පමණ ඉවත් කිරීමට හැකියාව තිබෙනව. නිර්වින්දන ඖෂධ වල ක්‍රියාකාරිත්වය අවසන් වන විට වේදනාවක් දැනෙන්න පුළුවන් නිසා වේදනා නාශක ඖෂධ ලබා ගැනීම අවශ්‍ය වෙනව. ඉන් පසු සම්පූර්ණ සුවය ලැබෙන තෙක් දින 2 සිට 4 දක්වා කාලයක් රෝහලේ රැඳී සිටීමට අවශ්‍ය වෙන අතර යෝනි මාර්ගයේ ඇතුළත කැපුම සති දෙකක් පමණ වන විට සිදු වෙනව. ගර්භාෂය ඉවත් කරන සැත් කම සිදු කල හැකි වෙනත් ආකාර ගැන පහත ලිපියේ තොරතුර දැක්වෙනව. Laparoscopic Hysterectomy..
යෝනි විවරය අවට දැවිල්ල සහ ආසාදන ( Pruritus Vulvae)
ලිංගේන්ද්‍රිය සහ ඉකිලි ප්‍රදේශයේ කැසීම සහ දැවිල්ල, බොහෝ කාන්තාවන් පීඩා විඳින තත්වයක්. නමුත් ලැජ්ජාව නිසා හෝ බිය නිසා ප්‍රතිකාර සඳහා යොමු වන්නේ ඉතාම කුඩා ප්‍රතිශතයක් පමණයි. සමහර කාන්තාවන් මෙම තත්වය දිගටම පැවතීම  නිසා දැඩි මානසික පීඩාවකට ගොදුරු වේ. ඇතැම්  විට එය විෂාදය දක්වා වුවද වර්ධනය විය හැකිය. දැන් අපි බලමු මෙවැනි රෝගී තත්වයක් ඇතිවෙන්නේ ඇයි කියල. මේ සඳහා බොහෝ හේතුත් තිබෙනවා. අසාත්මිකතා  ( Allergies ), විෂබීජ ආසාදන, චර්ම රෝග මෙන්ම පූර්ව පිළිකා තත්වයිනුත් මෙයට හේතු වෙනවා. නමුත් බහුලවම තිබෙන්නේ අසාත්මිකතා සහ ආසාදන තත්ත්වයි. බහුලව ඇතිවන විෂබීජ ආසාදන ලෙස දිලීර ආසාදනයක් වන Candidiasis රෝගය හැදින්විය හැකිය.  යෝනි මාර්ගයේ බැක්ටීරියා සංයුතිය වෙනස් වීම නිසා ඇතිවන Bacterial Vaginosis රෝගයද බහුලව දැකිය හැකිය. වෛද්‍යවරයෙකු විසින් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව නියම කරනු ලබන ප්‍රතිජීවක ඖෂධ මඟින් මෙය සුව කර ගත හැකිය. එතරම් බහුල නොවන ආසාදන අතර, ඉකිලි වල ඇතිවන දිලීර ආසාදන නොහොත් ටීනියා සහ හර්පීස් වැනි ලිංගාශ්‍රිත රෝග හඳුන්වන්න පුළුවන්. මෙම රෝග හඳුනා ගත හැක්කේ පළපුරුදු වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. අදාල ප්‍රතිජීවක මඟින් ආසාදන නිට්ටාවටම සුව කරන්න පුළුවන්. ආසාත්මිකතා ලිංගාශ්‍රිත ප්‍රදේශ වල කැසීම හා දැවිල්ල ඇතිවීමට ප්‍රධාන හේතුවක්. නයිලෝන් යට ඇඳුම්, සබන් ෂැම්පු වර්ග බොහෝවිට මේ ආසාත්මිකතා වලට හේතු වෙනවා. එමෙන්ම ඒවා නිසා වෙනත් හේතුන් නිසා ඇතිවන කැසීම හෝ දැවිල්ල උත්සන්න වෙන්න පුළුවන්. ඒ වගේම ඇතැම් කාන්තාවන් යෝනි ප්‍රදේශයේ රෝම ඉවත් කිරීමෙන් පසුවත් මෙම තත්වය ඇති වෙන්න පුළුවන්. මේ හේතුන් නිසා, මෙම ප්‍රශ්නය මඟ හරවා ගැනීමේ මූලික පියවරක් ලෙස, කපු යට ඇඳුම් භාවිතයට උපදෙස් දෙනවා. එමන්ම ලිංගාශ්‍රිත ප්‍රදේශයේ සබන් පාවිච්චියෙන් වැලකීමද වැදගත්. බොහෝ විට සිදු වන්නේ කැසීම ඇතිවිට, ප්‍රදේශය පිරිසිදු මදි ඇතියයි සිතා වැඩිපුර සබන් ගා සේදීමයි. එවිට ගැට‍ළුව තවත් උත්සන්න වේ. මේ නිසා ලිංග ප්‍රදේශයේ, සබන් පාවිච්චියෙන් වැළකීම, කපු යට ඇඳුම් භාවිතය මෙම අසාත්මිකතාවයන් බොහෝ දුරට මඟ හරවයි. යෝනි ප්‍රදේශයේ දැවිල්ල සහ කැසීමට තවත් හේතුවක් ලෙස, චර්ම රෝග තත්වයන් හැඳින්විය හැකිය. යෝනි විවරය ආශ්‍රිතව ඇතිවන එවැනි තත්වයක් වන්නේ Lichen Sclerosis නම් චර්ම රෝගයයි. එහිදී ලිංගාශ්‍රිත සම ඝන වීම සහ කැසීම සිදුවේ. මෙය ප්‍රතිශක්තිකරණ පද්ධතියයෙන් නිපදවන අහිතකර ප්‍රතිදේහ නිසා ඇතිවේ. ( Autoimmune disease ) මේ සඳහා ප්‍රතිකාර ලෙස ආලේපන වර්ග ඇත. ඒවා වෛද්‍ය උපදෙස් මත භාවිතා කල යුතුවේ. මෙම රෝගයට නිවැරදිව ප්‍රතිකාර කල යුතු වන්නේ කල් ගත වුව හොත් පිලිකා තත්වයන් පවා ඇතිවීමට ඉඩ ඇති බැවිනි. කාන්තා පිටත ලිංගේනද්‍රිය ආශ්‍රිතව ඇතිවන තවත් පූර්ව පිළිකා තත්වයක් ලෙස, රහස් ප්‍රදේශයේ සමේ සෛල බෙදීම වැඩිවීම හැඳින්විය හැකිය. එය Vulval intraepitelial neoplasia ( VIN ) ලෙස හැඳින්වේ. මෙහිදීද ඇතිවන රෝග ලක්ෂණය නම් ලිංගේන්ද්‍රියේ දැවිල්ල හා කැසීමයි. මෙවැනි තත්වයක් ඇති බව වෛද්‍යවරයාට හැඟේ නම් එය සනාථ කර ගැනීමට පටක පරීක්ෂණයක් ( Biopsy ) අවශ්‍ය වේ. මේ සඳහා ආලේපන ප්‍රතිකාර මෙන්ම, සුළු ශල්‍යකර්මද සමහරවිට අවශ්‍ය වන අවස්ථා ඇත. සාරාංශ කොට පවසන්නේ නම්, යෝනි විවරය අවට දැවිල්ල සහ ආසාදන වලට බොහෝ හේතුන් පවතින අතර, එය සති දෙකකට වඩා එක දිගට පවතීනම් හෝ නිතර නිතර ඇතිවන්නේ නම් වෛද්‍ය උපදෙස් සඳහා, නාරිවේද වෛද්‍යවරයෙකු වෙත යොමුවීම අත්‍යවශ්‍යය...
දරු ගැබක් නැතුවත් මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙන Molar pregnancy තත්වය.
දරු පිළිසිඳ ගැනීමට බලා පොරොත්තුවෙන් සිටින කාන්තාවකට මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වීම සමග ඇතිවෙන සියලු බලාපොරොත්තු ස්කෑන් පරීක්ෂණයත් සමග බිඳ වැටෙන්න පුළුවන්ද? සෑම ගැබ් ගැනීම 1000කට 1ක් මෙවැනි අවාසනාවන්ත තත්වයක් වෙන්න පුළුවන්. Gestational Trophoblastic Disease නැතිනම් Molar Pregnancy කියල හඳුන්වන තත්වය ගැනයි මේ ලිපිය වෙන් වෙන්නෙ. සාමාන්‍යයෙන් දරු ගැබට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණය ලබා දෙන්නෙ වැදෑමහ හරහායි. මේ තත්වයට හේතු වෙන්නෙ වැදෑමහ අසාමාන්‍ය ලෙස වර්ධනය වීමක්. මේ වගේ තත්වයක් ඇති වෙන ආකාරය තරමක් සංකීර්ණයි. සාමාන්‍යයෙන් දරු ගැබක් හට ගන්නෙ එක ඩිම්බයක් ශුක්‍රාණුවක් සමග එක් වීමෙන්. මෙම සෛල දෙකේ අඩංගු ජාන එකට එක්වී හට ගන්නා කලලයේ ජාන සංයුතිය සැකසෙන්නෙ. නමුත් අසාමාන්‍ය ජාන සංයුතියක් ඇති වෙන ලෙස සංසේචනය සිදුවී Molar Pregnancy එකක් ඇති විය හැකියි. Molar Pregnancy ප්‍රධාන වර්ග දෙකක් තිබෙනව. Complete Molar Pregnancy මෙහි දී වැදෑමහ අසාමාන්‍ය ලෙස වර්ධනය වීම දක්නට ලැබෙන අතර දරු ගැබක් ඇති වෙන්නෙ නැහැ. මෙයට හේතු වෙන්නෙ හිස් ඩිම්බයක් (ජාන රහිත) ශුක්‍රාණුවක් සමග සංසේචනය වීමයි. Partial Molar Pregnancy මෙහි දීත් වැදෑමහ අසාමාන්‍ය ලෙස වර්ධනය වෙන නමුත් ඊට අමතරව අසාමාන්‍ය දරු ගැබකුත් ඇති වෙනව. මෙම කලලයේ අසාමාන්‍ය තාවයන් නිසා සාමාන්‍ය දරුවෙකු ලෙස වර්ධනය වීමට හැකියාවක් ලැබෙන්නෙ නැහැ. මේ තත්වයට හේතු වෙන්නෙ ඩිම්බයක් එක වර ශුක්‍රාණු දෙකක් සමග එක්ව සංසේචනය වීමයි. මෙවැනි තත්වයන් ඇති වෙන්න බලපාන අවදානම් සාධක කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. කාන්තාවගේ වයස (වයස 35ට වැඩි වීම සහ 20 අඩු වීම) කලින් Molar Pregnancy ඇතිවී තිබීම කලින් ගබ්සා වීම් සිදුව තිබීම ජානමය බලපෑම. ආසියාතික කාන්තාවන්ට මේ තත්වයට ඇති අවදානම තරමක් වැඩියි. Molar Pregnancy එකක් නිසා බොහෝ විට රෝග ලක්ෂණ ඇති වෙන්නෙ නැහැ. ඒ නිසා මෙය හඳුනා ගන්න පුළුවන් වෙන්නෙ පලමු ස්කෑන් පරීක්ෂණයේ දී දරු ගැබක් නො පෙනීම සහ අසාමාන්‍ය ලෙස වැදෑමහ වර්ධනය වීම සොයා ගැනීමෙන්. ස්කෑන් පරීක්ෂණයක් සිදු නො කරන අවස්තාවකදී සති 12ක් පමණ වෙන විට ගර්භණී ලක්ෂණ අධික ලෙස දැනීම (උදා. වමනය, ඕක්කාරය), යෝනි මාර්ගයෙන් රුධිර වහනය වැනි ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්. දරු ගැබක් වර්ධනය වීම සිදු නොවෙන නිසා සහ සංකූලතාවයන් ඇති විය හැකි නිසා මෙම තත්වය ඉතා ඉක්මනින් ඉවත් කල යුතු වෙනව.  සුළු ශල්‍යකර්මයක් මගින් Molar Pregnancy එක සම්පූර්ණයෙන් ගැබ් ගෙල හරහා ඉවත් කිරීම තමයි මෙයට ඇති ප්‍රතිකාරය. මේ සඳහා සිහි නැති කිරීමට අවශ්‍ය වෙනව. කලාතුරකින් මේ අවස්තාවේදී අධික රුධිර වහනයක් වැනි සංකූලතා ඇතිවීමට ඉඩ තිබෙනව. ඉවත් කිරීමෙන් පසු ගර්භාෂය තුල ඉතිරි වෙන සෛල කොටස් ඉබේම හැකිළී යනව. කලාතුරකින් මෙම සෛල පිළිකාවක් ලෙස හැසිරීමට ඉඩක් තිබෙනව. ඒ නිසා මෙය වරින් වර HCG හෝමෝන මට්ටම පරීක්ෂා කිරීම මගින් සොයා බැලීමට අවශ්‍යයි. HCG හෝමෝන මට්ටම සාමාන්‍ය වීමට කල් ගත වේ නම් මේ සඳහා වැඩි දුර ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. හෝමෝන මට්ටම සාමාන්‍ය වී ඔබේ වෛද්‍ය වරයා උපදෙස් දෙන තෙක් නැවත ගැබ් ගැනීමට සුදුසු නැහැ. මේ නිසා එම කාලය තුල සුදුසු උපත් පාලන ක්‍රමයක් වෛද්‍ය උපදෙස් මත භාවිතා කල යුතුයි. ඉන් පසුව නැවත ගැබ් ගැනීමේ හැකියාව අඩු වෙන්නෙ නැහැ. නමුත් නැවත Molar Pregnancy තත්වයක් ඇති වීමට 1-2%ක පමණ අවදානමක් තිබෙනව...
පැප් පරීක්ෂණය (Pap Smear) යනු කුමක් ද?
Pap smear, cervical cancer නැත්නම් සුවනාරි පරීක්ෂණය යනු කුමක් ද?  එම පරීක්‍ෂණයේ ප්‍රථිපල විග්‍රහ කරන්නේ කෙසේද යන්න මෙම  ලිපියෙන් පැහැදිලි කෙරෙනු ඇත. pap පරීක්ෂණය සිදු කරන්නේ ඇයි? ගැබ් ගෙල පිළිකාවක් මූලික ම අවස්ථාවේ හඳුනා ගැනීම මෙහි අරමුණයි. 90% ගැබ් ගෙල පිළිකා සැදෙන්නේ HPV නම් වෛරසය මගිනි. එය ලිංගිකව සම්ප්‍රේෂණය වන වෛරසයකි.මෙම වෛරසය ජනගහනයේ  60% පමණ ව්‍යාප්තියක් ඇත. කෙසේ නමුදු වෛරසය ශරීර ගත වූ පමණින් ගැබ්ගෙල පිළිකා නොසැදේ. බොහෝවිට ශරීර ප්‍රතිශක්තිය මගින් එය ඉවත් කෙරේ. එහෙත් දුම්බීම ,නැවත නැවත වෛරසය ශරීර ගතවීම වැනි කාරණා නිසා  වෛරසය මගින් පිළිකා ඇති කිරීමේ ප්‍රවණතාව වැඩිවේ. පැප් පරීක්‍ෂණය මගින් ගැබ්ගෙල පිළිකාව මූලිකම අවස්ථාවේදී (Early cancer stage)  හෝ පුර්ව පිළිකා අවස්ථාවේදී (Pre-cancer stage) හඳුනා ගත හැකි වේ. එයට මූලික අවස්ථාවේ ප්‍රතිකාර කිරීම මඟින්, පිළිකාව නිට්ටාවටම සුව කරගත හැකිය. pap පරීක්ෂණය සිදු කිරීමට සුදුසු කාලය කුමක්ද? වෛරසය මගින් මුලින්ම ගැබ්ගෙල සෛල  බෙදීමේ වේගය වැඩි කරයි.එය පිළිකා පූර්ව  තත්වයක් (Pre-Cancer)   ලෙස හැදින්වේ. ගැබ්ගෙල පුර්ව පිළිකා තත්වය මුලික පිළිකාවක් බවට පත්වීමට වසර 8ක පමණ කාලයක් ගතවේ. එමනිසා පළමූ ලිංගික සංසර්ගයේ සිට වසර 5 කින් පැප් පරීක්ෂණය සිදු කිරීමට වඩා යෝග්‍ය වේ. විවිධ රටවල මධ්‍න්‍ය වයසක් මේ සදහා තීරණය කර ඇත. එය එංගලන්තයේ අවු 25 ලෙසත් ඕස්ට්‍රේලියාවේ අවු 20 ලෙසත්, ලංකාවේ අවු 30 ලෙසද හදුන්වා ඇතත් කාන්තාවකට ඕනෑම අවස්ථාවක පැප් පරීක්ෂණයක් ඉල්ලා සිටිය හැක. පරීක්ෂණයේ ගැටළුවක් නැති නම් එය වසර තුනෙන් තුනට කිරීම ප්‍රමාණවත් වේ . පැප් පරීක්ෂණය සිදුකරන ආකාරය  මෙය යෝනි පරික්ෂාවකි. Spculum නමැති  උපකරණය යෝනි මාර්ගය තුලට ඇතුලු කර ,ගැබ්ගෙල බුරුසුවකින් පිහිදා සෛල ලබාගනු ලැබේ .මේවා අන්වීක්ෂයෙන් පසුව පරික්ෂා කෙරේ. මෙම  සෛල වර්ණ ගන්වන ක්‍රම (staining)  දෙකකි. පැරණි පරීක්ෂණය Papanicolaou stain ලෙස හැදින්වේ. නවතම  Liqiud base cytology ක්‍රමය වඩා නිරවද්‍ය වේ. පැප් පරීක්ෂණයෙන් පසු සිදුවන්නේ කුමක් ද ? මෙහි ප්‍රථිපල සති 3 කින් පමණ ලැබේ . එය සාමාන්‍ය නම් නැවත අවු 3කින් කිරීම ප්‍රමාණවත් වේ . එහි යම් කිසි ගැටළුවක් ඇත් නම් ප්‍රසව හා නාරිවේද වෛද්‍ය වරයෙකු වෙත යොමු  විය යුතුය. ගැබ්ගෙල සෛල වල අසාමාන්‍යතා ඇතිනම් වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වේ. එහි ප්‍රතිඵලය අනුව අසාමාන්‍යතාව සුළු නම් පැප් පරීක්ෂණය මාස 6කින් නැවත සිදු කල හැකිය. අසමාන්‍යතාව තීව්‍ර නම් colposcopy පරීක්ෂණයට යොමු  විය යුතුය. ..
දරු ඵල නැති කරන, කැක්කුම් ඇති කරන  එන්ඩෝමේට්රියෝසිස් (Endometriosis)
එන්ඩෝමේට්‍රියෝසිස් යනු කුමක්ද? එන්ඩෝමේට්‍රියෝසිස් යනු කාන්තාවන්ගේ ප්‍රධාන වශයෙන් ඩිම්බ කෝෂ සහ ශ්‍රෝණි කුහරය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්වයකි. එය ඇතිවිය හැකි අනෙකුත් ස්ථාන නම්, ශල්‍යකර්ම කල ස්ථාන, කලාතුරකින් පෙනහළු, මුත්‍රාශය ආදී තැන්ය. ඔසප් වීමේදී ගර්භාශයේ ඇතුලත බිත්තියේ  පටක ගැලවී යාම සිදුවේ, ඔසප් රුධිරය ලෙස මසකට වරක් යෝනි මාර්ගයෙන් පිටවන්නේ මෙ පටක කොටස් සහ එහි අඩංගු රුධිරයයි. එන්ඩෝමේට්‍රියෝසිස් රෝගයේදී ගර්භාශයේ ඇතුලත බිත්තියේ  පටකවලට සමාන පටක කොටස් ශ්‍රෝණිය, ඩිම්බ කෝෂ හෝ සිරුරේ වෙනත් ඕනෑම ස්ථානයක පිහිටිය හැකිය. රෝග ලක්ෂණ මෙම පටක පිහිටි තැන්  වලින්ද ඔසප් වීමේදී මෙන් රුධිරය මඳ වශයෙන් වහනය වන අතර, ඒවා ශරීරයෙන් පිටතට ගැලීමක් සිදු නොවන බැවින් එම තැන් වලම තැම්පත් වී තදවෙයි. එම ගැටිති තුලට ස්නායු ද වර්ධනය වන බැවින් ඒවා අධික වේදනාවක් ඇති කරයි. එම වේදනාව මුලින් ඔසප් දිනවල පමණක් ඇතිවන අතර, කල් යාමේදී දිගටම පවතින බඩේ කැක්කුමක්, හෝ කොන්දේ කැක්කුමක් ලෙස පවතී. එය ඔසප් දින වලදී අධික වීම මෙහි ඇති විශේෂත්වයයි. ලේ කැටිවූ ගැටිති ඇතිවීම, ඩිම්බ කෝෂ වල ලේ ගෙඩි ඇතිවීම නිසා උදර කුහරයේ අවයව එකට ඇලීමක් සිදුවේ. මෙය Adhesions ලෙස හැඳින්වේ. මෙම ඇලීම් සහ ප්‍රතික්‍රියා මගින් නිපදවෙන රසායනික ද්‍රව්‍ය නිසා පැලෝපීය නාල අවහිරතා, ඩිම්බ මොචනයේ ගැටලු ආදිය ඇතිවේ. මේ හේතු සමුදාය නිසා එන්ඩෝමේට්‍රියෝසිස් රෝගය ඇති කාන්තාවන්ගේ  බොහෝවිට මඳසරු භාවය පිලිබඳ ගැටළු දැකිය හැකිය. තවද ශ්‍රෝණිය තුල ඇති ඇලීම් හා ගැටිති නිසා, ලිංගික සංසර්ගයේදී අධික වේදනයක් ඇතිවේ. මෙම රෝගයේ ඇති කල් පවතින රෝග ලක්‍ෂණත්, ප්‍රතිකාර කිරීමේ අපහසුවත්, ප්‍රතිකාර වලින් පසුව නැවත නැවත රෝග ලක්‍ෂණ පහල වීමත් නිසා, එන්ඩොමෙට්‍රියෝස්සි ඇති කාන්තාවන් බොහෝ පීඩාවට පත්වේ. එමෙන්ම දරු ඵල නැතිවීම, අධික උදරයේ වේදනාව සහ ලිංගිකව සතුටු වීමට බාධා ඇතිවීම යන  කරුණු නිසා මානසිකව විශාල පීඩාකාරී බවට පත්වීම දැකිය හැකිය. එය විෂාදය තත්වයක් දක්වා වුවවර්ධනය විය හැකිය. මෙය ඇතිවීමට හේතු මොනවද?  එන්ඩොමේට්‍රියෝසිස් රෝගී තත්වයට හේතුව 100%ක් නිශ්චය කර නැත. නමුත් අනුමාන කරන කරුණු කිහිපයකි. මාස් ශුද්ධියේදී, ගර්භාශයේ ඇතුලත පටක පැලෝපීය නාල ඔස්සේ ශෝනි කුහරයට සංක්‍රමණය වී, එහි තැම්පත් වීම. ඩිම්බ කෝෂ වල ඇති ජනක සෛල වලින් ගර්භාශයේ ඇතුලත පටක වලට සමාන පටක ඇතිවීම. මෙය හඳුනා ගන්නේ කෙසේද? ඉහත රෝග ලක්ෂණ ඇති විට, යෝනි පරීක්ෂාවක් සහ ස්කෑන් පරීක්ෂණයක් මගින් රෝගය හඳුනා ගත හැකිය. ඉන් පසුව laparoscopy ක්‍රමයට කරන ශල්‍ය කර්මයක් මගින් 100% රෝග නිශ්චයට පැමිණීමත් ප්‍රතිකාරයත් කල හැකිය. මෙය පිලිකා තත්වයක්ද? endometriosis යනු පිලිකා තත්වයක් නොවේ. නමුත් කල් පවතින රෝගී තත්වය මත ඩිම්බ කෝෂ පිලිකා වර්ධනය වීමේ අවදානමක් පවතී. එන්ඩොමේට්‍රියෝසිස් සුවකළ හැකිද? ප්‍රතිකාර මොනවාද? ප්‍රතිකාරය බොහෝවිට රෝග ලක්ෂණය මත රඳවා පවතී. වේදනා නාශක ඖෂධ, ඔසප් වීම ඖෂධ මගින් නතර කිරීම ආදී ප්‍රතිකාර තාවකාලිකව ප්‍රතිඵල අත්කරදෙයි. එන්ඩොමේට්‍රියෝසිස් රෝගය, රෝගයේ උත්සන්න බව අනුව අවධි හතරකට වර්ධනය වෙයි. ඉතා මද වශයෙන් ඇති රෝගය මද වශයෙන් ඇති රෝගය තරමක්‌ වර්ධනය වූ රෝගය තීව්‍ර රෝගී  තත්වය පළවන  සහ  දෙවන අවස්ථාවේදි ඖෂධ මගින්  රෝගය  පාලනය කල හැකිය .නමුත් තුන්වන හා හතරවන අවස්ථාවේදී laparascopy  ශල්‍යකර්මය අවශ්‍ය වේ . laparascopy  ශල්‍යකර්මය මගින් ශෝණි කුහරය තුල ඇති අනවශ්‍ය පටක ඉවත් කිරීම රෝගයට නිශ්චිතව ප්‍රතිකාරය වේ. Laparoscopy ශල්‍යකර්මය( Key hole surgery ) මෙය  එන්ඩෝමේට්‍රොසිස් රෝගයට නිශ්චිත ප්‍රතිකාරය වන අතර, එහිදී ශ්‍රෝණි කුහරය තුල ඇති endomtriosis පටක ඉවත් කිරීම හා පිළිස්සීම සිදුකෙරේ. රෝගයේ තීව්‍රතාවය අනුව සැත්කමේ සංකීර්ණතාවය තීරණය වෙයි. සාර්ථක සැත්කමකින් පසුව වසර 2-3ක් යනතුරු නැවත රෝගය මතුනොවේ, ඔසප් වීමේදී සහ ලිංගික සම්බන්ධතවෙදී වන වේදනාව නැතිවේ.  එමෙන්ම දරුඵල අපේක්‍ෂිත කාන්තාවන්ට, ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩිවේ. ශල්‍යකර්මයේ තවත් වාසියක් වන්නේ, ඉවත් කරන පටක පරීක්ෂාවෙන් ( Histology ) පිලිකා තත්වයක් ඇති දැයි සක හැර දැනගැනීමයි.  ..