Results for Tag: Gynaecology (44)
විවෘත සැත්කම් වෙනුවට විශාල කැපුම් නැති ලැපරොස්කොපි සැත්කම් සිරුරට අවම හානියක් වෙන ලෙස සිදු කරන හැටි.
ජීවිත කාලය තුල කිසියම් හේතුවක් නිසා සැත්කමට භාජනය වීමට බොහෝ කාන්තාවන්ට සිදුවෙනව. ඒ වගේ අවස්ථාවක ඕනෑම කෙනෙකුගෙ හිතට බියක් ඇති වෙන්න පුළුවන්. ඇයි අපි සැත්කමකට බිය වෙන්නේ? ඔබ අසා ඇති සැත්කම් නිසා ඇතිවෙන දරුණු සංකූලතාවයන්. අධික රුධිර වහනය, විෂබීජ ආසාදන වගේම සැත්කමෙන් පසු ඇති වෙන වේදනාවත් මේ අතර වෙනව. මේ වගේ බොහෝ සංකූලතා වලට හේතු වෙන්නෙ උදරය විවෘත කර සිදු කරන විවෘත සැත්කම්. මෙහි දී ශරීරයට සිදු වෙන හානිය වැඩි නිසා නැවත සාමාන්‍ය තත්වයට පැමිණීමට බොහෝ කාලයක් ගත වෙනව. මේ වගේ අවදානම් ඇතිවීම අඩු කර ගන්න ඇති නවීන සැත්කම් ක්‍රමයක් තමයි ලැපරෛාස්කොපි සැත්කම් කියන්නේ. ලැපරොස්කොපි සැත්කමකදී උදරය මතුපිට ඉතා කුඩා කැපුම් 3ක් හෝ 4ක් සිදු කරන්නේ. මින් විශාලතම කැපුම සෙන්ටි මීටර් 1ක් පමණ වෙන්නේ. ඒ තුලින් කුඩා බටයක් වැනි කැමරාවක් (laparoscope) උදරය තුලට ඇතුඵ කර උදරය තුල රූප රාමු තිරයක් මතට ලබා ගන්නව. ඊට අමතරව ඉතා සියුම් ශල්‍ය උපකරණ උදරය තුලට ඇතුළු කර සැත්කම සිදු කරන්නේ. ඒ නිසා සැත්කම ටිකක් සෙමින් සියුම් ලෙස සිදු කරන්න වෙනව. එමගින් ශරීරයේ වෙනත් කොටස් වලට සිදු විය හැකි හානිය අවම වෙන්නේ මේ නිසායි. මොනවද මේ ලැපරොස්කොපි සැත්කමකින් ඇති වෙන වාසි? මෙහි දී උදරයේ ඉතා කුඩා කැපුම් පමණක් ඇති කරන නිසා සැත්කමෙන් පසු සමේ ඇතිවෙන තුවාල කැලැල් ඉතාමත් කුඩායි. ඒ වගේම සැත්කම අවස්ථාවේ සිදු වෙන රුධිර වහනය ඉතාමත් අවමයි. මෙවැනි සැත්කමකින් පසු විවෘත සැත්කමකදී මෙන් අධික වේදනාවක් ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය සැත්කමකට පසු මෙන් දින ගණනාවක් රෝහල් ගතව සිටීමට අවශ්‍ය නැහැ. බොහෝ දෙනෙක් ලැපරොස්කොපි සැත්කමකින් පසුව එදින ම හෝ පසු දින රෝහලෙන් බැහැර යනව. ඉන් පසු ඉතා ඉක්මනින් සාමාන්‍ය වැඩකටයුතු වල යෙදීමට හැකියාව ලැබෙනව. ලැපරොස්කොපි සැත්කමකින් පසු විෂබීජ ආසාදන ඇතිවීමට ඇති අවදානම විවෘත සැත්කමකට සාපේක්ෂව ඉතා අඩුයි. මෙවැනි සැත්කමකින් පසු උදර කුහරය තුල ඇලීම ඇතිවීම වැනි සංකූලතා ඉතා අඩු නිසා පසුකාලීන ව දරු ඵල නැති වීමට, උදරයේ වේදනා ඇතිවීමට ඇති අවදානම අඩුයි. ඕනෑම සැත්කමකදී මෙන් ලැපරොස්කොපි සැත්කමක දීත් කලාතුරකින් සංකූලතාවන් ඇතිවෙන්න පුළුවන්. ඒ අතර අභ්‍යන්තර ඉන්ද්‍රියකට හානි සිදුවීම, රුධිර වහනය, විවෘත සැත්කමක් අවශ්‍ය වීම වැනි සංකූලතා තිබෙන නමුත් මේ සඳහා ඇති අවදානම විවෘත සැත්කමකදී ඇතිවිය හැකි සංකූලතාවලට සාපේක්ෂව ඉතාමත් අඩුයි. ලැපරොස්කොපි සැත්කමක් අවශ්‍ය වෙන්නේ කුමන අවස්ථා වලද? දැන් කාන්තා රෝග සඳහා සිදු කරන සැත්කම් සියල්ලම පාහේ ලැපරොස්කොපි ක්‍රමයට සිදු කරන්න පුළුවන්. ඒ නිසා ඔබට කිසියම් හේතුවකට සැත්කමක් අවශ්‍ය නම් එය ලැපරොස්කොපි ක්‍රමයට සිදු කිරීමට හැකියාව බොහෝ විට තිබෙනව. දරු ඵල ප්‍රමාද වීමට හේතු සොයා බැලීම, පැලෝපීය නාලවල අවහිරතා ඇති දැයි සොයා බැලීම මෙලෙස ලැපරොස්කොපි ක්‍රමයට බහුලව සිදු කරන සැත්කමක්. එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වයෙන් පීඩා විඳින කාන්තාවන්ගේ වේදනාවට, දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීමට ලැපරොස්කොපි සැත්කම් මගින් ප්‍රතිකාර කරන්න පුළුවන්. ගර්භාෂයෙන් පිටත පිහිටි අවදානම් දරු ගැබක් ඉවත් කිරීම ලැපරොස්කොපි ක්‍රමයට සිදු කිරීමෙන් ඉදිරියේ දී දරු පිළිසිඳ ගැනීමට බාධා වීම අවම කර ගන්න පුළුවන්. ඩිම්බ කෝෂ වල ඇතිවෙන ගෙඩි ඉවත් කිරීම ලැපරොස්කොපි ක්‍රමය මගින් ශරීරයට අවම හානියක් වෙන ලෙස සිදු කිරීමට හැකියාව ලැබෙනව. ඒ වගේම ගර්භාෂයේ ඇතිවෙන ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කිරීමේ මයෝමෙක්ටොමි සැත්කමත්, ගර්භාෂය ඉවත් කරන හිස්ටරෙක්ටොමි සැත්කමත් දැන් සම්පූර්ණයෙන් ලැපරොස්කොපි ක්‍රමයට සිදු කරන්න පුළුවන්. නමුත් මෙවැනි සැත්කමක් සඳහා නවීන වෛද්‍ය උපකරණ සහ පුහුණු වෛද්‍ය වරුන් අවශ්‍යයි. බොහෝ රෝහල් වල මේ සඳහා දැන් පහසුකම් තිබෙන නමුත් විවිධ හේතු නිසා තවමත් බොහෝ කාන්තාවන්ට ලැපරොස්කොපි ක්‍රමයට තම සැත්කම සිදු කරවා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔබට කිසියම් හේතුවක් මත විවෘත සැත්කමක් අවශ්‍ය යැයි නිර්දේශ කල හොත්, එම සැත්කමම ලැපරොස්කොපි ක්‍රමයට අවම හානියක් වෙන පරිදි සිදු කිරීමේ හැකියාව ඇති දැයි විමසා බලන්න. මේ ගැන ලැපරොස්කොපි සැත්කම් පිළිබඳ විශේෂ පුහුණුවක් ඇති නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවීමෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්...
උපත් පාලනය සඳහා දිගු කාලීනව භාවිතා කල හැකි හෝමෝන තැන්පතු (Implants)
යුවලකට දරු පිළිසිඳ ගැනීම වසරක් හෝ ඊට වැඩි කාලයක් ප්‍රමාද කිරීමට අවශ්‍ය නම් භාවිතා කල හැකි දිගු කාලීන උපත් පාලන ක්‍රමයක් පිළිබඳවයි මේ ලිපියෙන් තොරතුරු ගෙනඑන්නේ. මෙවැන අවස්ථාවක භාවිතා කල හැකි ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනව. 1. උපත් පාලන ලූපය - මේ ගැන විස්තර වෙනම ලිපියක දැක්වෙනව. 2. උපත් පාලන හෝමෝන තැන්පතු මෙය සමයට තැන්පත් කරන හෝමෝන අඩංගු කරලක්. දැනට ලංකාවේ හෝමෝන තැන්පතු වර්ග දෙකක් භාවිතා කරනව. ඉන් එක් වර්ගයක් Jadelle යන වෙළඳ නාමයෙන් හඳුන්වන අතර එහි Levonorgestrel නම් ඖෂධය අඩංගු කරල් දෙකක් තිබෙනව. මෙය වසර පහක් දක්වා උපත් පාලනය සඳහා භාවිතා කල හැකියි. අනික් වර්ගය Implanon යන වෙළඳ නාමයෙන් හඳුන්වන අතර එහි Etonogestrel නම් ඖෂධය අඩංගුයි. මෙය තනි කරලක් ලෙස පවතින අතර වසර 3ක් දක්වා කියාකාරීයි. මෙම හෝමෝන ඖෂධ බහුලව භාවිතා කරන Depo provera නික්ෂේපනයේ ඇති ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයට සමානයි. ඒ නිසා පිළිකා හෝ දරුණු අතුරු ආබාධ කිසිවක් ඇතිවෙන්නේ නැහැ. මෙය භාවිතා කරන බොහෝ කන්තාවන්ට මාස කිහිපයකට පසු ඔසප්වීම නතර වෙනව. හෝමෝන කරල ඉවත් කල පසු ඔසප් චක්‍රය නැවත සාමාන්‍ය බවට පත්වෙන අතර මෙය ඉවත් කර වහාම නැවත ගැබ් ගැනීමට හැකියාව ලැබෙනව. සමහර කාන්තාවන්ට මුල් මාස කිහිපය තුල අක්‍රමවත් ලෙස ඔසප් වීම සිදු වෙන්න පුළුවන්. මෙය තාවකාලික තත්වයක්. බොහෝවිට මාස කිහිපයකට පසු සාමාන්‍ය අතට හැරෙනව. නමුත් එය කරදරකාරී නම් වෛද්‍ය වරයෙකු හමුවී ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. මෙහි අඩංගු ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ඉතා සුළු මාත්‍රාවක් දිනපතා රුධිරයට එකතු වෙනව. ඒ මගින් පිටියුටරි ග්‍රන්ථියේ හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස් කර ඩිම්බ කෝෂ වල ඩිම්බ වර්ධනය සහ පිටවීම නතර කරන නිසා පිළිසිඳ ගැනීම වැලැක්වෙනව. මෙම හෝමෝන කරල් සම යට තැන්පත් කිරීම සුළු ශල්‍යකර්මයක් ලෙස සම හිරි වැටීමට ඖෂධයක් ලබා දී සිදු කරන්නෙ. ඒ සඳහා ගත වෙන්නේ විනාඩියකට අඩු කාලයක්. හිරි වැටීමට නිර්වින්දක ඖෂධ ලබා දෙන නිසා මෙහිදී ඔබට වේදනාවක් දැනෙන්නෙ නැහැ. ඉවත් කිරීමට අවශ්‍ය වෙන විට නැවත නිර්වින්දක ඖෂධ ලබා දී සුළු ශල්‍යකර්මයක් ලෙස මෙය ඉවත් කල හැකියි. බොහෝ පවුල් සැලසුම් සායන වල මේ සඳහා පහසුකම් දැන් තිබෙනව. මේ ගැන වැඩි විස්තර ඔබේ වෛද්‍ය වරයාගෙන් හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් අසා දැන ගන්න...
කහිනවිට සිනාසෙන විට ඉබේ මුත්‍රා පිටවෙන තත්වය සුවකරන TOT ශල්‍යකර්මය (Surgery for stress incontinence)
Stress urinary incontinence ලෙස හඳුන්වන්නේ මුත්‍රා පාලනය කිරීමට අපහසු වෙන තත්වයක්. කහින විට කිවිසුම් යන විට, හිනා වෙන විට හෝ බර වැඩක් කරන විට පාලනයකින් තොරව මුත්‍රා පිටවීම බොහෝ කාන්තාවන් අත්දකින රෝග තත්වයක්. මින් මිදීමට ඇති වෛද්‍ය හා ශල්‍යකර්ම නො වෙන ප්‍රතිකාර ගැන මීට පෙර ලිපියක තොරතුරු දැක්වෙනව. මෙම ලිපියේ අරමුණ පාලනයකින් තොරව මුත්‍රා පිටවෙන තත්වය සුව කල හැකි mid urethral sling operation කියන ශල්‍යකර්මය ගැන තොරතුරු ගෙන ඒමයි. මෙම රෝග තත්වයට හේතු වෙන්නෙ මුත්‍රා මාර්ගයේ මුල කොටස අවට පටක ශක්තිමත් නො වීමයි. එවිට මුත්‍රා පිටවීම වළක්වා ගැනීම අපහසු වෙනව. දරුවන් ලැබීමට පසු සහ වයසත් සමග බොහෝ කාන්තාවන්ට මේ තත්වය ඇතිවෙනව. මුත්‍රා මාර්ගයේ මෙම කොටස ඉතා කුඩා පටියක් යොදා නැවත නියමිත ස්ථානය ඔසවා තැබීම මෙම ශල්‍යකර්මය මගින් සිදු කරන්නේ. මෙම පටිය මුත්‍රා මාර්ගය ඔසවා නියමිත ස්ථානයේ පවත්වා ගන්නා නිසා ඉන් පසු කහින විට කිවිසුම් යන විට සිනා වෙන විට හෝ බර වැඩක් කරන විට මුත්‍රා පිටවීම සිදු වෙන්නෙ නැහැ. මේ සඳහා යොදා ගත හැකි ශල්‍ය කර්ම වර්ග කිහිපයක් තිබෙන අතර ලංකාවේ බහුලව ම භාවිතා කරන්නේ Trans Obturator Tape (TOT) කියන ශල්‍ය කර්මය. මෙම ශල්‍ය කර්මය සඳහා සිහි නැති කිරීමට අවශ්‍ය නැහැ. සිසේරියන් සැත්කමක දී මෙන් හිරිවැටීමට නික්ෂේපණයක් ලබා දී මෙම ශල්‍යකර්මය සිදු කල හැකියි. එහිදී යෝනි මාර්ගය ඇතුළත සෙන්ටි මීටරයක ප්‍රමාණයේ ඉතා කුඩා කැපුමක් යොදා එය තුලින් මුත්‍රා මාර්ගය ඔසවා තබන සියුම් පටියක් ඇතුළු කරනව. ඇතුල් කරන සියුම් දිය වෙන මැහුමක් පිටතට ගැනීමට ඉකිළි ප්‍රදේශය දෙපස මිලි මීටර 4ක පමණ කුඩා කැපුම් දෙකක් යොදනව. යෝනි මාර්ගය ඇතුළත යොදන දිය වෙන මැහුම් නැවත ඉවත් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සති කිහිපයකින් මේවා ඉබේම දිය වී යනව. සමහර විට ශල්‍යකර්මයෙන් පසු සුදයාමක් හෝ සුළු රුධිර වහනයක් ඇතිවිය හැකියි. මුත්‍රා පිට කිරීම පහසු වීම සඳහා බටයක් දැමීම සමහර විට අවශ්‍ය වෙනව. නමුත් මෙය පැය 24කට පෙර ඉවත් කිරීමට හැකියි. බොහෝ විට මෙම ශල්‍යකර්මයෙන් පසුව එදින ම හෝ පසු දින රෝහලෙන් බැහැර යාමට හැකියාව තිබෙනව. කලාතුරකින් මුත්‍රා පිට කිරීමේ යම් අපහසු බවක් ඇතිවුවහොත් එක් දිනකට වඩා රෝහලේ සිටීමට සිදු විය හැකියි. මෙම ශල්‍ය කර්මයෙන් පසු ඇතිවෙන වේදනාව අවමයි. බොහෝ විට සරල වේදනා නාශක ඖෂධ වලින් පමණක් මෙය සමනය කර ගැනීමට හැකියාව තිබෙනව. ශල්‍යකර්මයෙන් පැය 4ක් පමණ වෙන විට සාමාන්‍ය ලෙස ආහාර පාන ගැනීමට ඔබට හැකියාව ලැබෙනව. මෙම සැත්කමෙන් පසුව ගැබ් ගැනීමක් සිදුවුවහොත් දරු ප්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කමකට යොමු වීම වඩාත් සුදුසුයි. එම නිසා නැවත ගැබ් ගැනීමට බලාපොරොත්තු වෙන තරුණ කාන්තාවකට මෙය එතරම් සුදුසු ශල්‍ය කර්මයක් නොවෙයි. එවැනි කාන්තාවන්ට ලැපරොස්කොපි ශල්‍යකර්මයක් මගින් මුත්‍රා පාලනය යථා තත්වයට පත් කිරීමට හැකියාව තිබෙනව. එහිදී ලැපරොස්කොපි ශල්‍ය උපකරණ යොදා ගෙන සියුම් ලෙස මුත්‍රා මාර්ගය දෙ පසින් මැහුම් කිහිපයක් යොදා මුත්‍රා මාර්ගය නියමිත ස්ථානයට ඔසවා තබනව. මෙම ශල්‍යකර්මය laparoscopic colposuspension ලෙස හඳුන්වන අතර ඉන් පසු නැවත ගැබ් ගැනීමට හෝ සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදු කිරීමට බාධාවක් නැහැ...
පාලනයකින් තොරව මුත්‍රා පිටවීම
පාලනයකින් තොරව මුත්‍රා පිටවීම මැදිවියේ කාන්තාවන් අතර සුලබ ප්‍රශ්නයකි. උදරයේ වායු පීඩනය වැඩි වෙන අවස්ථාවල (කැස්ස/ කිවිසුම් යාම/ බරක් ඉස්සීම) ඇති වන මුත්‍රා පිටවීම හා මුත්‍රා පිටවීමට අශ්‍යතාවයක් ඇති වන මොහොතක එය පාලනය කර ගැනීමට නො හැකි වීම ලෙස මෙම රෝගය කොටස් 2ට බෙදිය හැක. මෙම තත්වය නිසා කාන්තාවන් මහත් අපහසුතාවයට පත් විය හැකි අතර ඒ නිසාම එම තත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා වෛද්‍යවරයෙකු හමුවීමට පවා කාන්තාවන් මැලි වීමට පිළිවන්. නමුත් මෙම තත්වය සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රම ඇත. මුත්‍රා පාලනයකින් තොරව පිටවීම යනු කුමක් ද? අප හට මුත්‍රා පිට කිරීමට වුවමනා වූ විට ඒ සඳහා පහසු හා සුදුසු ස්ථානයක් ලැබෙන තුරු මුත්‍රාශය තුල රඳවා තබා ගැනීමේ හැකියාව ඇත. මුත්‍රා පිටවීමට නුසුදුසු හා අකමැති මොහොතක අපගේ පාලනයකින් තොරව මුත්‍රා පිටවීම මෙම තත්වය ලෙස හැඳින්විය හැක. මුත්‍රාශය සහ මුත්‍රා ගැන තොරතුරු බිඳක් වකුගඩු වලින් මුත්‍රා නොනවත්වා නිපදවේ. මෙම මුත්‍රා දිගටම මුත්‍රා නාල තුලින් මූත්‍රාශය වෙත එකතුවේ. ඔබේ මුත්‍රා නිපදවන ප්‍රමාණය ඔබ පානය කරන දියර ප්‍රමාණය ආහාරයට ගන්නා ආහාර සහ නිපදවන දහදිය ප්‍රමාණය මත තීරණය වේ. මූත්‍රාශය සෑදී ඇත්තේ මාංශ පේශි වලිනි. එය මුත්‍රා ගබඩා කරන අවයවයකි. මූත්‍රාශය මුත්‍රා මාර්ගයට විවෘත වන අතර එම විවරය වෑල්වයක් මගින් සැම විටම වැසී ඇත. මෙම වෑල්වය ශ්‍රෝණි මස්පිඩුවලින් සෑදී ඇත. මූත්‍රාශය තුළ මුත්‍රා යම් ප්‍රමාණයක් පිරුණු විට ඔබ හට එම දැනීම ලැබේ. ඔබ මුත්‍රා කිරීමට වැසිකිළියට ගිය විට ඔබේ මූත්‍රාශය සංකෝචනය වන අතර ශ්‍රෝණියේ ඇති මස්පිඩු ලිහිල් වී මුත්‍රා මාර්ගය විවෘත වේ.  මෙම ක්‍රියාවලිය නිසා ඔබට මුත්‍රා පිට කළ හැක. ඔබගේ මොළයෙන් එන ස්නායු හරහා මෙම පේශි ලිහිල් වීම සහ මුත්‍රා සංකෝචනය වන අවස්ථාව පාලනය වේ. පාලනයකින් තොරව මුත්‍රා පිටවීම කෙතරම් සුලභද? මෙම තත්ත්වය සුලභ රෝගී තත්ත්වයකි. එය විශේෂයෙන්ම බලපානුයේ කාන්තාවන්ටය. මෙය  ඕනෑම වයසකදී ඇතිවිය හැකිමුත් වඩාත් සුලභව දක්නට ලැබෙන්නේ මැදිවියේ සහ මහලූවියේ කාන්තාවන්ටය. එනම් වයස්ගත වීමත් සමග එහි ප‍්‍රවණතාවය වැඩිවේ. මෙම තත්ත්වය සෑම කාන්තාවන් 100 ගෙන් 04 ට දැකිය හැක. අවුරුදු 40 ට වැඩි කාන්තාවන් 05 ගෙන් එක් අයෙකුට මෙය ප්‍රශ්නයක් විය හැක. මෙම ප්‍රමාණය මීටත් වඩා වැඩි විය හැක. අවාසනාවට කරුණ නම් කාන්තාවන් මෙම තත්ත්වය වෛද්‍යවරුන්ට පැවසීමට මැලවීමයි. ලැජ්ජාව එයට ප්‍රධාන කරුණයි. නමුත් මෙය ප්‍රතිකාර මගින් සුව කළ හැක. පාලනයකින් තොරව මුත්‍රා පිටවීමට හේතු මොනවාද? පාලනයකින් තොරව මුත්‍රා පිටවීම හේතු 02 ක් නිසා සිදු වන බව මුලින් පැවසුවා ඔබට මතක ඇති. 1 උදරයේ වායු පීඩනය වැඩි වන අවස්ථාවල දී (කැස්ස, කිවිසුම් යාම, බරක් ඉස්සීම) ඇති වන මුත්‍රා පිටවීම. පාලනයකින් තොරව මුත්‍රා පිටවන හේතුවලින් සුලභවම දකින්නට ඇත්තේ මෙම තත්ත්වයයි. මෙම තත්ත්වය ඇතිවන්නේ මූත්‍රාශය මුත්‍රා මාර්ගය වසා ගෙන සිටින ශ්‍රෝණි මාංශ පේශි දුර්වල වූ අවස්ථාවේදීය. මෙම තත්ත්වය තුළ ඔබ සිනාසෙන විට කැස්සක් හෝ කිවිසුම් යන විට හෝ ඔබ ව්‍යායාමවල යෙදී සිටින අවස්තාවේදී පාලනයකින් තොරව මුත්‍රා පිටවිය හැක. මෙම අවස්ථාවල දී උදරයේ හෝ මූත්‍රාශයේ ඇති වන හදිසි තෙරපුම මෙම මුත්‍රා පාලනයකින් තොරව පිටවීමට හේතු වේ. මුත්‍රා පිටවන ප්‍රමාණය සුළු හෝ විශාල ප්‍රමාණයක් ලෙස වෙනස් විය හැක. ශ්‍රෝණි පතුලේ ඇති මාංශ පේශි දුර්වල වීමට කරුණු කිහිපයක් බලපෑ හැක. 1.දරු ප්‍රසූතිය තුළ දී එම පේශිවලට සිදු වන හානිය. 2. වයසට යාමත් සමග මෙම පේශි දුර්වල වීම. 3. තරබාරු කම. මෙම තත්ත්වය විවිධ ශල්‍යකර්ම මගින් සුව කළ හැක. 2  මුත්‍රා බර පැමිණි විට එය පාලනය කර ගැනීමට නො හැකි නිසා ඇති වන මුත්‍රා පිටවීම. මෙම තත්ත්වය තුළද මූත්‍රාශය තුළ මුත්‍රා පිරෙන විට ස්නායු අක්‍රමවත් සහ පාලනයකින් තොරව ක‍්‍රියාකිරීම නිසා මූත්‍රාශය සංකෝචනය වී තද මුත්‍රා බරක් ඇතිවීම සහ ඇතැම් විට මුත්‍රා පාලනයකින් තොරව පිටවීම සිදුවේ. එහිදී ඔබ වැසිකිළියට යාමට පෙර මුත්‍රා පිටවීම සිදුවේ. මෙම තත්ත්වය නිසා ඔබ ගෙදරින් පිට ගමන් යාමට පවා මැලි වීමට ඉඩ ඇත. මෙම තත්ත්වයද වයස්ගත වීමත් සමග වැඩි විය හැකි අතර එම තත්ත්වයට නිශ්චිත හේතුවක් බොහෝ දුරට හමු නොවේ. වයස්ගත වීමත් සමග ස්නායු පද්ධතියේ සිදු වන දුර්වලතාවන් මෙයට හේතුවේ යැයි සිතිය හැක. මුත්‍රා ආසාදන තත්ත්වයන්හිදී මෙම මුත්‍රා පාලනයකින් තොරව පිටවීම දැකිය හැක. මෙම තත්ත්වය පාලනය කිරීමට විවිධ බෙහෙත් වර්ග ඇත. සමහර කාන්තාවන් සඳහා ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ 02 ම තිබිය හැක. එවිට මෙම තත්ත්ව 02 සඳහා ම ප්‍රතිකාර කළ යුතුය. පාලනයකින් තොරව මුත්‍රා පිටවීම නැති කර ගැනීමට කළ හැකි දේ කුමක් ද? මෙම ඉතා අපහසුකාරී රෝග තත්ත්වය සුවකරගැනීමට හෝ පාලනය කර ගැනීමට වෛද්‍ය ප්‍රතිකාර මගින් පිළිවන. ප්‍රතිකාර ක්‍රමය රෝගී තත්ත්වය මත වෙනස් වේ. එම නිසා එම තත්ත්වය හරියාකාරව දැන ගැනීමට ඔබේ වෛද්‍යවරයා යම් ඉතිහාසයක් ඔබෙන් ඇසීම සිදු කරයි. ඔබට ඇති මුත්‍රා ප්‍රශ්නය කහින විට හෝ කිවිසුම් යන විට මුත්‍රා පිටවීම මුත්‍රා බර ඇතිවූ විට එය පාලනය කර ගත නොහැකිවීම. ඔබ වැසිකිළියට යන වාර ප්‍රමාණය ඔබට මුත්‍රා යන ප්‍රමාණය පාලනයකින් තොරව මුත්‍රා පිටවීම දිනකට කී වරක්ද ඔබට සිටින දරුවන් ප්‍රමාණය සහ ඔවුන් ප‍්‍රසූතියේදී ඇතිවූ ආබාධ ඔබ හට යම් පරීක්ෂණ කිරීමට ඔහු විසින් පැවසිය හැක. මුත්‍රා පරීක්ෂණයක් (විෂබීජ දැන ගැනීමට) ස්කෑන් පරීක්ෂණයක් යෝනි හා උදර පරීක්ෂණයක්  මුත්‍රා මාර්ගය සම්බන්ධයෙන් ඇති විශේෂ පරීක්ෂණ (Urodynamic) ප්‍රතිකාර ඔබට ඇති රෝගී තත්ත්වය මත කිරීමට හැකි ප්‍රතිකාර ක්‍රමය වෙනස් වේ. එම නිසා එම තත්ත්වය නිශ්චිතව හඳුනා ගැනීම ප්‍රථමයෙන් කළ යුතුය. මෙම තත්ත්වය යම් තරමක් හෝ අඩු කිරීමට ඔබට කළ හැකි දෑ  අවශ්‍ය ප්‍රමාණයට වඩා ජලය පානය කරනවා නම් එය අඩු කිරීම සාමාන්‍යයෙන් අප දිනකට වතුර වීදුරු 06 ක් 08 ක් පමණ බීමට ගත යුතුය. ඔබ බොන දේවල් වෙනස් කිරීම. තේ,කෝපි,චොකලට් පානයන් සහ කෝලා පානයන් ඔබේ මූත්‍රාශය සංකෝචනය වැඩි කර පාලනයකින් තොරව මුත්‍රා යාම වැඩි කරයි. ඔබ දියර පානය කරන වේලාව වෙනස් කිරීම. රාත්‍රි කාලයේ වැඩිපුර දියර පානය කිරීම, ගමනක් යන විට එසේ කිරීම සීමා කළ යුතුය. ශරීරයේ බර අඩුකරගැනීම. යම් ප්‍රමාණයක් හෝ ශරීරයේ බර අඩු කර ගැනීමෙන් මුත්‍රා පිටවීම බොහෝ දුරට අඩුකරගත හැක. දිනකට 04-05 වතාවක්වත් මුත්‍රා කිරීමට පුරුදුවීම. මලබද්ධය වළක්වා ගැනීමට සමබර ආහාර වේලක් ගැනීම. මලබද්ධය සමග මුත්‍රා පාලනයකින් තොරව පිටවීම ද එම මාංශ පේශි දුර්වලවීම ද වැඩිය. වෛද්‍ය ප්‍රතිකාර Stress Incontinence මෙම රෝග තත්ත්වය සඳහා ඖෂධ නොමැති අතර ශල්‍යකර්මයකින් මෙය නිට්ටාවට සුව කළ හැක. මෙය ඉතා සරල විනාඩි 30 ක පමණ සැත්කමක් වන අතර ඔබට රෝහලේ දින 02 ක් ගත කිරීමට සිදුවේ. Urine Incontinence මෙම තත්ත්වය ඖෂධ මගින් පාලනය කර ගත හැක. මෙම තත්ත්වය පමණක් ඇති විට සැත්කම් කිරීම හානිදායක විය හැක. මෙහි දී ඖෂධ දිගු කාලයක් ගැනීමට සිදුවේ. තවද ශ්‍රෝණි ප්‍රදේශයේ මාංශ පේශිවලට ව්‍යායාම කිරීම මෙම ඉහත තත්ත්වය තවදුරටත් වැඩි වීම වළක්වා ගත හැක.  ..
ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කරන්න හොඳම ක්‍රමය මොකක්ද? Laparoscopic Myomectomy සැත්කම ගැන දැන ගන්න.
  ගර්භාෂයේ ඇතිවෙන ෆයිබොයිඩ් ගෙඩි නිසා බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙනව. සෑම කාන්තාවන් 4 දෙනෙකුගෙන් ම එක් අයෙකුට ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් (Fibroids) ගෙඩි ඇතිවීමට ඉඩ තිබෙනව. මේ නිසා ඔසප් වීම සමග අධික වේදනාව, අධික රුධිර වහනය, දරු පිළිසිඳ ගැනීම සිදු නොවීම, ගබ්සා වීම වැනි සංකූලතා ඇතිවෙන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර කලින් ලිපියක පල කරනු ලැබුව. මේ සඳහා ප්‍රතිකාර කරන ආකාර කිහිපයක් තිබෙනව. මේ ලිපියෙන් අපි කරුණු ගෙන එන්නේ මයෝමෙක්ටොමි (Myomectomy) සැත්කම පිළිබඳ ව. මයෝමෙක්ටොමි කියන්නේ ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කරන සැත්කම. මෙය සිදු කල හැකි ආකාර තුනක් තිබෙනව. 1. විවෘත ශල්‍යකර්මය (Open myomectomy) මෙය බොහෝ කාලයක් තිස්සේ සිදු කරනු ලැබුවේ විවෘත සැත්කමක් ලෙස. මෙහි දී ෆයිබ්‍රොයිඩ් ගෙඩි විශාල සංඛ්‍යාවක් වුවත් ඉවත් කිරීමට හැකියාව ඇති අතර ශල්‍යකර්මය අතරතුර රුධිර වහනයට ඇති අවදානම වැඩියි. ඒ වගේම පසුකාලීන ව උදරයේ අනිකුත් අවයව ගර්භාෂයට ඇලීම නිසා සංකූලතා ඇතිවීමටත් ඉඩ කඩ තිබෙනව. සාමාන්‍යයෙන් මේ සැත්කමට සහභාගි වීමට පෙර හදිසි අවශ්‍යතාවයක් ඇතිවුව හොත් ගර්භාෂය පවා ඉවත් කිරීමට කැමැත්ත දීමට සිදුවෙනව. එම නිසා බොහෝ කාන්තාවන් මේ සැත්කමට භාජනය වීමට බියක් දක්වනව. නමුත් දැන් මේ සැත්කම නවීන ලැපරොස්කොපි ක්‍රමයට කිරීමට හැකියාව ලැබී තිබෙනව. 2. ලැපරොස්කොපි ශල්‍ය කර්මය (Laparoscopic myomectomy) ලැපරොස්කොපි ක්‍රමය කියන්නේ රෝගියාට ඉතාමත් පහසු සැත්කම් ක්‍රමයක්. මෙහි දී බඩේ ඉතා කුඩා කැපුම් 3ක් හෝ 4ක් සිදු කරනව. මින් විශාලතම කැපුම සෙන්ටි මීටරයක් තරම් වෙන්නේ. ඒ තුලින් සිහින් කැමරාවක් බඩ ඇතුළතට යොමු කර වෛද්‍යවරයා ඉන් ලැබෙන දර්ශනය යොදා ගෙන සැත්කම සිදු කරන්නේ. ඒ සඳහා භාවිතා කරන්නෙ ඉතාමත් සියුම් ශල්‍ය උපකරණ. ඒ නිසා සැත්කම ටිකක් සෙමින් සියුම් ලෙස සිදු කරන්න වෙනව. එමගින් ශරීරයේ වෙනත් කොටස් වලට සිදු විය හැකි හානිය අවම වෙන්නේ මේ නිසායි. මේ විදියට ෆයිබ්‍රොයිඩ් ඉවත් කරන විට පිටවෙන ලේ ප්‍රමාණය ඉතා අඩුයි. ඒ වගේම ගර්භාෂයට වෙන හානියත් අඩුයි. ඉවත් කරන ෆයිබ්‍රොයිඩ් ගෙඩි ශල්‍ය උපකරණයක් ආධාරයෙන් සිහින් කොටස් බවට පත් කර සෙන්ටි මීටරයක් කුඩා කැපුම තුලින් ම යොමු කරන බටයක් තුලින් උදර කුහරයෙන් පිටතට ගනු ලබනව. ගර්භාෂයේ ගෙඩි ඉවත් කල ස්ථාන වැසීමට යොදා ගන්නේ දිය වෙන මැහුම්. මෙම ශල්‍ය කර්මයෙන් පසු ගර්භාෂය, පැලෝපීය නාල සහ ඩිම්බ කෝෂ වෙනත් අවයව වලට ඇලී සංකූලතා ඇතිවීමට ඇති අවදානම විවෘත ශල්‍ය කර්මයකට වඩා ඉතා අඩුයි. එම නිසා දරු පිළිසිඳ ගැනීමක් බලා පොරොත්තු වෙන කාන්තාවකට වඩාත් සුදුසු ක්‍රමය වෙන්නේ ලැපරොස්කොපි ක්‍රමයට මයෝමෙක්ටොමි ශල්‍යකර්මය සිදු කිරීමයි. නමුත් මේ ශල්‍යකර්මය සඳහා සෑම ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් ම සුදුසු වෙන්නේ නැහැ. ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඔබ මේ සඳහා සුදුසු දැයි තීරණය කල හැකියි. සැත්කමෙන් පසු එදින ම ඔබට ඇඳෙන් නැගිට සාමාන්‍ය වැඩ කටයුතු වල යෙදීමට හැකියාව ලැබෙනව. බොහෝ විට පසු දින හෝ එදින ම රෝහලෙන් බැහැර යාමටත් හැකියාව තිබෙනව. 3. හිස්ටරොස්කොපි ශල්‍යකර්මය (Hysteroscopic resection of fibroids) දරු පිළිසිඳ ගැනීම පමා වීම හෝ නිතර නිතර ගබ්සා වීමට හේතු සොයා බලන විට සමහර කාන්තාවන්ට ගර්භාෂයේ ඇතුළත බිත්තියට නෙරා ඇති කුඩා ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඇති බව දක්නට ලැබෙනව. එවැනි කුඩා ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කිරීම බොහෝ විට අවශ්‍ය වෙනව. ඒ වගේ අවස්ථාවක විවෘත හෝ ලැපරොස්කොපි ශල්‍ය කර්මයකින් තොරව මෙම ගෙඩි ඉවත් කිරීමට හිස්ටරොස්කොපි ක්‍රමය මගින් පුළුවන්. එහිදී කුඩා කැමරාවක් සහිත හිස්ටරොස්කොපි උපකරණය ගැබ් ගෙල තුලින් ගර්භාෂයට ඇතුළු කර එමගින් ෆයිබ්‍රොයිඩ් ගෙඩිය උදරයේ කිසිම කැපුමක් නොමැතිව ඉවත් කිරීමට පුළුවන්. නැවත දරු පිළිසිඳ ගැනීමකට බලාපොරොත්තු වෙන්නේ නැති කාන්තාවකට නම් මේ සඳහා ඇති ස්ථිර විසඳුම වෙන්නේ ගර්භාෂය සමග ෆයිබ්‍රොයිඩ් ගෙඩි සියල්ල එකවර ඉවත් කිරීමයි. මෙම ශල්‍යකර්මයත් දැන් ලැපරොස්කොපි ක්‍රමයට සිදු කරන්න පුළුවන්. ඒ ගැන විස්තර දැන ගන්න මෙතන ක්ලික් කරන්න. ලැපරොස්කොපි සහ හිස්ටරොස්කොපි සැත්කම් සඳහා විශේෂිත ශල්‍ය උපකරණ සහ පුහුණු වෛද්‍ය වරයෙකු අවශ්‍ය වෙනව. ඒ නිසා බොහෝ රෝහල්වල තවමත් මේ සඳහා පහසුකම් නැහැ. දැනට කොළඹ බොහෝ පුද්ගලික රෝහල් වලදී මේ සැත්කම් සිදු කර ගැනීමට හැකියාව තිබෙනව. Save..