මද සරු බවට හේතු සහ ප්‍රතිකාර (Subfertility)

මද සරු බවට හේතු සහ ප්‍රතිකාර (Subfertility)

ඔබ දරු ඵල  අපේක්ෂාවෙන් වසරකට වඩා වැඩි කාලයක් අනාරක්ෂිත ලිංගික සංසර්ගයේ යෙදීමෙන් පසුවත් ගැබ් ගැනීමක් සිදු නොවූ නි නම් ඔබට මදසරුභාවය ඇතැයි සලකන්න පුළුවන්. බොහෝ දුරට මෙය රෝගී තත්වයක් නොවෙයි .

සාමාන්‍යයෙන් තරුණ යුවළක් අනාරක්ෂිත (උපත් පාලන ක්‍රමයක් භාවිතා නොකර) ලිංගික සංසර්ගයේ යෙදුනහොත්, එම කාන්තාව ගැබ් ගැනීමට ඇති සම්භාවිතාව පලමු මාසයේ දී 30%යි, මාස හයක් අවසානයේ දී 75%යි. ඔවුන් වසරක කාලයක් අඛණ්ඩව උත්සාහ කළොත් මෙම ප්‍රතිශතය 85 – 90 % ක් දක්වා වැඩි වෙනවා. ඒ කියන්නෙ, 10% - 15% ත් අතර සම්භාවිතාවක්  මද සරු බව සඳහා තිබෙනවා .කාන්තාවගේ වයස අවුරුදු 35ට වැඩි නම් මේ ප්‍රතිශතය 40% දක්වා වැඩි වෙන්න පුළුවන්.

පිළිසිඳ ගැනීමක් සිදුවීමට නම් කාන්තාවගේ හෝමෝන ක්‍රියාකාරිත්වය නිවැරදිව සිදු විය යුතුයි. එවිට මසකට වරක් ඩිම්බ කෝෂ වලින් ඩිම්බයක් නිකුත් වීම සිදුවනව. මේ පිටවෙන ඩිම්බය පැලෝපීය නාල දිගේ ගර්භාෂයට ගමන් කරනවා. මේ කාලය තුල දී ලිංගික එකතු වීමක් සිදු වුනොත්, පුරුෂයාගෙන් පිටවෙන ශුක්‍රාණු යෝනි මාර්ගයෙන් ගැබ් ගෙල හරහා ගර්භාෂයට ගමන් කරනව. ඩිම්බය ශුක්‍රාණු සමග එකතු වීමෙන් තමයි කලලයක් ඇති වන්නෙ. මෙම එකතු වීම සිදු වන්නෙ පැලෝපීය නාලයක් තුල. ඉන් පසු කලලය ගර්භාෂය තුල තැන්පත් වී දරුවෙකු ලෙස වර්ධනය වෙනව.

මදසරු බවට ප්‍රධානම ලෙස  හේතු කාරණා කීපයක් හදුනාගන්න පුළුවන්. ඩිම්බ කෝෂ වලින් නිසි පරිදි ඩිම්බ මේරීම සිදු නො වීම, පුරුෂයාගේ ශුක්‍රාණු වල ප්‍රමාණය හෝ ගුණාත්මක බව අඩු වීම, පැලෝපීය නාල වල අවහිරතා, ගර්භාෂය ඇතුළු ප්‍රජනක පද්ධතියේ අසාමාන්‍ය තාවයන්. නමුත් බහුතරයකට මේ කිසිම අසාමාන්‍ය තාවයක් නැතිවත් දරුවන් පිළිසිඳ ගැනීමක් සිදු වෙන්නෙ නෑ. මේ පිරිස 30%ක් විතර වෙනව.

මදසරු බව සඳහා කරන වෛද්‍ය පරීක්ෂණ

මුලින් වෛද්‍යවරයා ඔබගේ සායනික ඉතිහාසය ලබා ගෙන පරීක්ෂා කර බලනව. ඉන් පසුව සමහර විට  වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කරනව.

පුරුෂයාගේ ශුක්‍රාණු පරීක්ෂාව මේ අතරින් මුලින් ම කරන සරල පරීක්ෂණයක්. මෙහි දී ශුක්‍රාණු වල ප්‍රමාණය සහ ගුණාත්මක බවේ අඩුපාඩුවක් තිබේ නම් සොයා ගන්න පුළුවන්.

කාන්තාවගේ ඩිම්බ කෝෂ සහ ගර්භාෂයේ අසාමාන්‍යතාවයක් තිබේ දැයි ස්කෑන් පරීක්ෂණයක් මගින් සොයා ගන්න පුඵවන්. ඊට අමතරව මාස් ශුද්ධියෙන් දින 10 ත් 11ත් අතර ස්කෑන් පරීක්ෂණයකින් සාමාන්‍ය පරිදි ඩිම්බ මේරීම සිදුවනවාදැයි තහවුරු කරගන්න පුළුවන්.

මෙම මූලික පරීක්ෂණ වලට අමතරව වෛද්‍ය වරයා තීරණය කරන්න පුඵවන් වැඩි දුර පරීක්ෂණ කිහිපයක් තියෙනව. ලැපරොස්කොපි පරීක්ෂණය මගින් කාන්තාවගේ ඩිම්බ කෝෂ, නාල, ගර්භාෂය සහ අවට ප්‍රදේශයේ තිබෙන බොහෝ අසාමාන්‍ය තාවයන් සොයා ගන්න පුළුවන්. නමුත් මෙය ශල්‍යකර්මයක් නිසා මූලික පරීක්ෂණයක් ‍ලෙස සිදු කරන්නෙ නැහැ. මීට අමතරව හෝමෝන පරීක්ෂවන්, ජානමය රෝගී තත්වයන් සඳහා පරීක්ෂාවන් වගේ වැඩිදුර පරීක්ෂණ අවශ්‍යතාවය මත සිදුකරනව.

ප්‍රතිකාර

ඩිම්බ කෝෂ වලින් නිසි පරිදි ඩිම්බ මේරීම සිදු නොවේ නම් ඒ සඳහා ප්‍රතිකාර කරන්න පුළුවන්. එහි දී ස්කෑන් පරීක්ෂණ මගින් ප්‍රතිකාරයේ සාර්ථකත්වය දැන ගන්න හැකියාවක් තියෙනව.

කාන්තාවට එන්ඩොමෙට්රියෝසිස් වැනි රෝගී තත්වයක් තිබෙනවනම් ලැපරොස්කොපි ශල්‍යකර්මයක් මගින් එයට ප්‍රතිකාර කරන්න පුළුවන්.

 IUI (Intra Uterine Insemination)

මෙමගින් කරන්නේ පුරුෂයාගෙන් ලබාගන්නා ශුක්‍රාණු රසායනාගාරය තුල සැකසීමෙන් පසුව කෙළින්ම ගර්භාෂය ඇතුළට ඉතා කුඩා බටයක් ආධාරයෙන් තැන්පත් කිරීම. ඊට පෙර නියමිත දිනට ඩිම්බ පිටවීම සඳහා කාන්තාවට ප්‍රතිකාර කරනව. නියමිත පරිදි සිදු කරන IUI කිරීම ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්.

IVF (In Vitro Fertilization)

IVF නැත්නම් නල දරුවන් සෑදීම ඉතාමත් ජනප්‍රිය වන ප්‍රතිකාර ක්‍රමයක්. මෙය දැනට රජයේ සෞඛ්‍ය සේවාව තුල ලබා ගත නො හැකි වුවත්, බොහෝ පුද්ගලික ආයතන මෙම සේවාව සපයනව. ප්‍රතිකාර කිරීමෙන් එකවර ඩිම්බ කිහිපයක් මේරීමට ලක් කර ඒවා  යෝනි මාර්ගය තුලින් අතුල් කරන කුඩා කටුවක් ආධාරයෙන් පිටතට ගැනීම සිදු කරනව. ඊට පසුව ඩිම්බ සමග ශුක්‍රාණු රසායනාගාරය තුල එකතු වීමට සලස්වා ඉන් හට ගන්නා කලලය සුදුසු අවස්ථාවේ ගර්භාෂය තුල තැන්පත් කිරීම සිදු කරනු ලබනව.

නිසි ප්‍රමාණයට ගුණාත්මක ශුක්‍රාණු ලබාගත නොහැකි පුරුෂයන්ගේ වෘෂණ කෝෂවල ශුක්‍රාණු ලබා ගෙන ICSI කියන ක්‍රමයට ඩිම්බ සංසේචනය වීමට සලස් වන්න පුළුවන්.

මෙම ප්‍රතිකාර ක්‍රම මගින් බහුතරයක් මදසරු යුවල වලට දරු ඵල ලබා ගැනීමේ හැකියාව ලැබෙනව. ඔබට සුදුසු ප්‍රතිකාර ක්‍රමය වෛද්‍ය වරයා විසින් ඔබ පරීක්ෂා කර තීරණය කළ යුතුයි. මේ සඳහා ඔබට උපදෙස් අවශ්‍ය සුදුසුකම් ලත් නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

 

විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, රාගම
Visiting Consultant Obstetrician & Gynaecologist at Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo,
Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Browns Hospital - Ragama.

SHARE THIS WITH FRIENDS ON


Latest topics

Featured Articles