අන්තර් ගර්භාෂිත ලූපයක් (intra uterine device) පැලදීම කාලයක් පවත්වා ගත හැකි පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස හැදින්විය හැකිය. දැනට ශ්‍රී ලංකාවේ භාවිතා කෙරෙන අන්තර් ගර්භාෂිත ලූපයක් සාමාන්‍යයෙන් වසර 10ක කාලයක් පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස පවත්වා ගත හැකිය. මෙහි ප්‍රධානතම වාසිය වන්නේ ලූපය පැලද සිටින විට නැවත නැවත සායනයකට යෑමට අවශ්‍ය නොවීමයි.
ඕනෑම පවුල් සැලසුම් සායයනයකින් මෙම ලූපයක් පැලදීමට හැකි වීම එය ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය වීමටද හේ තු වී තිබේ. දැනට එක් දරුවකු ප්‍රසුත කළ මවකට සුදුසු දිගුකාලීන පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස අන්තර් ගර්භාෂිත ලූපය වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබයි. එසේ නොමැතිව එනම් දරුවකු ප්‍රසුත නොකළ කාන්තාවකට වුවද අන්තර් ගර්භාෂිත ලූප පවුල් සැලසුම් ක්‍රමය අනුගමනය කළ හැක. එහෙත් ඒ සඳහා නාරිවේද හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගත යුතුය.
සෙන්ටිමීටර 3 ක පමණ විශාලත්වයකින් යුතු අන්තර් ගර්භාෂිත ලූපයක් යෝනිමාර්ගය ඔස්සේ ගැබ්ගෙල හරහා ගර්භාෂයට ඇතුල් කිරීම සිදු කෙරේ. එහිදී සියුම් වේදනාවක් ඇතිවිය හැකි වුවද වේදනා නාශකයක් ගැනීමට තරම් එය තද බල වේදනාවක් නොවේ වේ. ලූපයක් පැලදීමෙන් අනතුරුව දින 2 ක් හෝ 3 ක් ප්‍රතිජීවක ඖෂධයක් භාවිතා කිරීම අනුමත කරනු ලබන අතර විෂබීජ ආසාදනයන් අවම කිරීම එමගින් අපේක්ෂා කෙරේ. එහෙත් බොහෝවිට ප්‍රතිජීවක ඖෂධයක් භාවිතා කිරීම අනිවාර්ය වන්නේ නොමැත.
අන්තර් ගර්භාෂිත ලූපයක් පැලදීමේදී සංකුලතා ඇතිවීම අවමවීම මෙහි ඇති ප්‍රධානතම වාසියයි. එසේ උවද ඇතැම්විට ලූපය පැලද දින කිහිපයකදී විෂබීජ ආසාදන හේතුවෙන් බඩේ කැක්කුමක් හෝ අපහසුතාවක් මතුවුවහොත් වහා වෛද්‍යවරයකු වෙත යොමුවිය යුතුය. දිගුකාලීනව සැලකීමේදී ලූපයක් මගින් සිදුවන සංකුලතා අවම මට්ටමක පවතී, එහෙත් ඇතැම් කාන්තාවන්ට අධික රුධිර වහනයක් හෝ තදබල බඩේ කැක්කුමක් ඇතිවන අවස්ථා තිබේ. එවැනි අවස්ථාවකදී නාරිවේද හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු වී ප්‍රතිකාර ගැනීම කළයුතුය. එහෙත් එහිදී ලූපය ඉවත් කිරීමට සිදු නොවනු ඇත. ඇතැම්විට දිගුකාලීනව සැලකීමේදී සමහරක් කාන්තාවන්ට කලාතුරකින් ලූපය හා සම්බන්ධ නුල යෝනි මර්ගයේ පිටතට පැමිණිය හැකි අවස්ථා තිබේ. එවැනි අවස්ථාවකදී වෛද්‍ය සහය පැතිය යුතුය. වසර 10 කින් පසු අන්තර් ගර්භාෂිත ලූපය ඉවත් කර නව ලූපයක් පැලදීම හෝ වෙනත් දිගු කාලීන පවුල් සැලසුම් ක්‍රමයක් අනු ගමනය කිරීම සිදු කළ හැක.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
SHARE THIS WITH FRIENDS ON