ගැබිනි මවක් මුලින්ම කළ යුතු දේ (Early pregnancy )


ගැබිනි මවක් මුලින්ම කළ යුතු දේ (Early pregnancy )

දරුවකු බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවකට සුපුරුදු පරිදි නියමිත දිනට මාස් ශුද්ධිය සිදු නො වීම මගින් ඔබ ගැබ් ගෙන ඇති බවට අනුමාන කළ හැකි වනවා. එහෙත් එය සැක හැර තහවුරු කර ගැනීමට ඔබ කළ යුතු වන්නේ පෙර ඔසප් වීමෙන් සති හතරකට පසු මුත්‍රා පරීක්ෂණයක් සිදු කිරීමයි. සාමාන්‍යයෙන් නිරෝගිමත් කාන්තාවකට (ක්‍රමානුකූල ඔසප් චක්‍රයක් ඇති) දින 28කට වරක් ඔසප් වීම සිදු වෙන අතර සමහර කාන්තාවන්ට මෙය දින 21-45ත් දක්වා වෙනස් වෙන්න පුළුවන්. බලාපොරොත්තු වන දිනට නියමිත ආකාරයෙන් ඔසප් වීම සිදු නොවිනි නම් මුත්‍රා පරීක්ෂණයක් මගින් ඔබ ගැබ් ගෙන ඇති දැයි සැක හැර දැන ගැනීමට හැකි වනවා.

ඒ බව තහවුරු කර ගත් වහා ඔබ කළ යුත්තේ ඔබ පදිංචි ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරි වරිය මුණ ගැසී අදාල සායනයෙහි ලියාපදිංචි වීමයි. එම ලියාපදිංචි වීමට අමතරව සති 8ක් යන තුරු වෛද්‍ය පරීක්ෂණයකට ලක් වීම අනිවාර්ය නොවන අතර එම කාලය තුල ෆෝලීක් ඇසිඩ් යන විටමිනය ලබා ගත යුතු වනවා.

එහෙත් ඒ වන විට ඔබ යම් කිසි රෝග තත්වයකින් පෙළන්නේ නම් හෝ කිසියම් රෝගයකට දැනටමත් ප්‍රතිකාර ගන්නේ නම් එවැනි අවස්ථාවක වහා වෛද්‍යවරයෙකු හමුවට යා යුතු වනවා. එසේ නොවන සාමාන්‍ය අවස්ථාවක දී ගැබ් ගැනීමෙන් සති 8ක් ඉක්ම ගිය විට දී ඔබ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු මුණ ගැසී පරීක්ෂා කර ගැනීම වැදගත් වනු ඇති. එහි දී මූලික වශයෙන් ස්කෑන් පරීක්ෂණයක් සහ රුධිර පරීක්ෂණ කිහිපයක් සිදු කරනු ඇති.

මුලික ස්කෑන් පරීක්ෂණය සිදු කිරීම එහි දී වැදගත් වන්නේ දරුවා බිහි වන දිනය නිවැරදි ලෙස තහවුරු කර ගැනීම උදෙසායි. සාමාන්‍යයෙන් මාස් ශුද්ධිය සිදු වී සති 40ක් ගිය පසු දරුවා බිහි කිරීමේ දිනය තීරණය කළ ද ක්‍රමානුකූල ඔසප් චක්‍රයක් නොමැති කාන්තාවන්ගේ ප්‍රසූත දිනය නිවැරදි ලෙස තහවුරු කර ගැනීම අපහසු වනවා. එවැනි අවස්ථාවක දී දරුවා ලැබෙන දිනය අනුමාන කිරීම අපහසු වනවා. එහෙත් මුලික ස්කෑන් පරීක්ෂණය මගින් දරුවාගේ ප්‍රමාණය නීර්ණය කිරීමට හැකි වන හෙයින් නිවැරදි ලෙස දරුවා බිහි වන දිනය ගණනය කිරීමට හැකි වනවා.

එමෙන්ම මුලිකව සිදු කරනු ලබන රුධිර පරීක්ෂණ වලදී හිමෝග්ලොබින් පරීක්ෂාව වැදගත් වෙනවා. ලේ අඩු කම හෙවත් නීරක්ත තත්වයක ගැබිනි මව පසු වන්නේ නම් ඒ සඳහා ප්‍රතිකාරවලට යොමු වීමට මෙම හිමෝග්ලොබින් පරීක්ෂාව වැදගත් වෙනවා. ඊට අමතරව රුධිර ගණය සහ ආර් එච් සාධකය සොයා බැලීම ද සිදු කරනව. එහි දී මවගේ රුධිර ගණයේ ආර් එච් සාධකය ඍන වී දරුවාගේ රුධිර ආර් එච් සාධකය ධන වන අවස්ථාවක් ඇති වුව හොත් එනම් රුධිර ගණ දෙක නොගැළපෙන අවස්ථාවක් වුව හොත් එය දරුවාට සංකුලතා මතු කරවන්නක් නිසා තවදුරටත් රුධිර පරීක්ෂණ සිදු කළ යුතු වනවා. එමෙන් ම රුධිරයේ ග්ලුකෝස් මට්ටම පරීක්ෂා කර බැලීමෙන් ගර්භණී කාලයේ දියවැඩියාවට අවදානම පරීක්ෂා කර ගත හැකියි.

early pregnancy gynaecologist visit

ගර්භණී මවක් විශේෂඥ වෛද්‍ය සායනයකදී කල යුතු දේ ගැන ජාතික රූපවාහිනියේ නුග සෙවන වැඩසටහන පහතින් නරඹන්න.

විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, රාගම
Visiting Consultant Obstetrician & Gynaecologist at Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo,
Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Browns Hospital - Ragama.


ගැබිනි_මවක්_මුලින්ම_කළ_යුතු_දේ_(Early_pregnancy_)