කාන්තාවක් ගර්භනී භාවයට පත්වීමෙන් පසු ඇයගේ රුධිරයේ සීනි මට්ටම ග්ලුකෝස් මට්ටම ඉහල යාම ගර්භනී සමයේ දියවැඩියාව ලෙස හඳුන්වයි. මෙය වැඩිහිටි වයසේ අයට වැළඳෙන දියවැඩියා තත්වයට වඩා වෙනස් අවධානය යොමු කළයුතු විශේෂිත රෝගී තත්වයකි. මෙම දියවැඩියා තත්වය දරු ප්‍රසූතියෙන් සුළු කාලයකට පසු නැවත ප්‍රකෘති තත්වයට පත් වන බව හඳුනා ගත හැකිය.
ගර්භනී සමයේ දියවැඩියාව සඳහා අවධානම් තත්වයක් ලෙස ශරීරයේ බර වැඩිවීම නැත්නම් ස්ථුල තාව හැඳිනවිය හැකියි, එමෙන්ම ඔබ මීට කලින් දරුවන් බිහි කළ මවක් නම් ඔවුන්ගේ බර කිලෝ ග්‍රෑම් 4ට වඩා වැඩි වූයේ නම් එහිදී ද ඔබ ගර්භනී සමයේ දියවැඩියාව වැළදීමේ අවදානම වැඩි වනු ඇත. එමෙන්ම ඔබ මීට පෙර ගර්භනී අවස්ථාවලදී දියවැඩියාව වැළඳුණු කාන්තාවක් නම් එහිදීද ඔබ ගර්භනී සමයේ දියවැඩියාව වැළදීමේ අවදානමට ලක් වනු ඇත. තවද ඔබේ පවුලේ මව පියා හෝ සහෝදර සහෝදරියක් දියවැඩියා රෝග තත්වයෙන් පෙලෙන්නේ නම් එවැනි අවස්තාවකදී ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැළදීමේ අවදානම ඉහල මට්ටමක පවතී. විශේෂයෙන්ම දකුණු ආසියාතික රට වල ජීවත් වන සියලු ජනතාවට දියවැඩියාව වැළදීමේ අවදානම ලෝකයේ සෙසු රටවල ජීවත් වන පුද්ගලයන්ට වඩා ඉහල බව සිදු කර ඇති සමීක්ෂණ වලින්ද තහවුරු වී තිබෙනවා.
ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇත් දැයි පරීක්ෂා කර ගැනීමට කළ යුත්තේ ගැබ් ගෙන සති 12ක් ඉක්ම ගිය පසු PPBS රුධිර පරීක්ෂණයක් සිදු කර ගැනීමයි. ඒ සඳහා ප්‍රධාන ආහාර වේලකින් පැය දෙකකට පමණ පසු මෙම රුධිර පරීක්ෂණය සිදු කළ යුතු වනවා. මෙමගින් ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇත් දැයි කල් තියා හඳුනා ගත හැකි වන නමුත් මෙය 100% සාර්ථක පරීක්ෂණයක් නොවන බවද අප වටහා ගත යුතු වනවා. මෙම රුධිර පරීක්ෂණයේ ප්‍රතිඵලය සාමාන්‍යය වුවද ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැළදීමේ අවදානම තිබෙන්නට පුළුවන්. එම නිසා ගැබ් ගෙන සති 24 ත් 28ත් අතර කාලයේ දී නැවතත් තවත් රුධිර පරීක්ෂණයක් සිදු කර ගත යුතු වනවා. එම රුධිර පරීක්ෂණය ග්ලුකෝස් ටොලරන්ස් ටෙස්ට් (OGTT) යනුවෙන් හඳුන්වනු ලබනවා. එම පරීක්ෂණය මගින් ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැලඳී ඇත් දැයි නිවැරදිව තහවුරු කර ගත හැකි වනු ඇති.
ඔබ මෙම රෝගී තත්ත්වයෙන් පෙලෙන්නේනම් එහිදී කුසය තුල වැඩෙන දරුවාට හෝ ඔබට අවදානමක් ඇතිවිය හැකියි. නමුත් ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇති බොහෝ කාන්තාවන් කිසිදු සංකූලතාවයක් ඇති නොවූ ඉතාම නිරෝගී දරුවන් බිහි කරන අවස්ථා දකින්න පුළුවන්. එම නිසා ඔබට ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී තිබුනද ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර ගැනීම සිදු නොකළ යුතුයි. ඔබ කළ යුත්තේ ඔබගේ වෛද්‍යවරයා ලබා දෙන උපදෙස් නිසි ලෙස පිළිපැදීමයි. දියවැඩියාව ගර්භනී සමයේ වැලඳීමෙන් ඇතිවිය හැකි අවදානම් තත්වයන් කිහිපයක් හඳුනාගත හැකියි. ප්‍රසූතියේ දී වැඩි බර දරු උපතක් සිදුවීමට ඉඩ ඇති හෙයින් මව සිසේරියන් සැත්කමකට භාජනය කිරීමට සිදුවීම හෝ අඬු භාවිතය මගින් දරු උපත සිදු කිරීමට වීම ඒ අතර වනවා. එමෙන්ම ඉතාමත් කලාතුරකින් දරුවාට අවදානම් සහගත තත්වයන් ඇතිවීමට ද ගර්භනී සමයේ දියවැඩියාව බලපා හැකියි, එහි දී මල දරු උපතක් සිදු විය හැකි වනවා.
ගර්භනී සමයේ දියවැඩියාව ඉතා හොඳින් පාලනය කිරීම වඩා වැදගත් වනවා. මෙහි දී ඔබ කළ යුතු වන්නේ ඔබගේ වෛද්‍ය වරයා ලබා දෙන නිර්දේශ නිවැරදිව අනුගමනය කිරීමයි.
නිවැරදි ආහාර පුරුදු ඇති කර ගැනීමට එහි දී ඔබගේ වෛද්‍යවරයා පලමුව නිර්දේශ කරනු ඇති. විශේෂයෙන්ම ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇති කාන්තාවක් සීනි අධික ආහාර ගැනීම නොකළ යුතු වනවා. එමෙන්ම පිටි සහිත ආහාර (උදාහරණ ලෙස පාන් බනිස් ආදී ආහාර) ආහාරයට ගැනීම එතරම් සුදුසු වන්නේ නැහැ. සමහරක් කාන්තාවන්ට හොඳින් ආහාර පාලනය කිරීමෙන් පමණක් මෙම ගර්භනී සමයේ දියවැඩියා තත්ත්වයෙන් මිදීමට හැකි වනවා.
නමුත් ඔබට යම්කිසි හේතුවක් නිසා ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් ඒ සඳහා ආකාර දෙකකින් ප්‍රතිකාර කළ හැකි වනවා. බෙහෙත් පෙති අධාරයෙන් රුධිර ගත සීනි මට්ටම පාලනය කිරීම ඉන් එක් අවස්ථාවක්. එමගින් රුධිර ගත සීනි මට්ටම පාලනය කිරීමට අපොහොසත් වුවහොත් ඉන්සියුලින් නමැති හෝමෝනය නික්ෂේපනය කළ යුතු වනවා. මෙහි දී රුධිර ගත සීනි මට්ටම නියමිත ලෙස පාලනය කිරීම වඩා වැදගත් වනවා. ඒ සඳහා ඇතැම් අවස්ථාවල දිනකට තෙවරක් රුධිර ගත සීනි මට්ටම පරීක්ෂා කළ යුතු වෙනවා. ඒ අනුව ප්‍රතිකාර වෙනස් කිරීම සිදු කරනු ඇති.
ප්‍රතිකාරවලට අමතරව දරුවාගේ වර්ධනය පරීක්ෂා කිරීම සඳහා අමතර ස්කෑන් පරීක්ෂණද සිදු කළ යුතු වනවා. දරුවාගේ බර වැඩි වනවාද දරුවාට යම් සංකූලතාවයක් ඇතිවී තිබේද යන්න එමගින් හඳුනා ගත හැකි වනවා .
ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇති කාන්තාවකගේ දරු ප්‍රසූතිය සැලසුම් කිරීම නිරෝගී කාන්තාවකගේ දරු ප්‍රසූතිය සැලසුම් කිරීම ට වඩා වෙනස් ආකාරයකින් සිදු වනව. ගර්භනී සමයේ දියවැඩියාව වැළඳී ඇති කාන්තාවකට ගැබ් ගෙන සති 38 ත් 40ත් අතර කාලය තුල ප්‍රසූතිය සිදු කිරීමට අනුමත කරනු ඇති. දිය වැඩියා තත්වයේ දරුනු භාවය මත මෙම කාලය වෙස් කිරීමට සිදුවනු ඇති.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
SHARE THIS WITH FRIENDS ON