ගර්භණී මවකට පැපොල රෝගය වැලඳුන හොත් (Chickenpox in pregnancy)

ගර්භණී මවකට පැපොල රෝගය වැලඳුන හොත් (Chickenpox in pregnancy)

පැපොල රෝගය කියන්නේ වෛරසයක් මගින් බෝවෙන රෝගයක්. මෙම වෛරසය Varicella Zoster Virus ලෙස හඳුන්වනවා. බොහෝ විට මෙම රෝගයට ගොදුරු වන්නේ කුඩා දරුවන්. වරක් පැපොල රෝගය වැලඳුනොත් ශරීරයේ මෙම රෝගයට එරෙහි ප්‍රතිශක්තිය ඇති වන නිසා නැවත වරක් එය වැලඳෙන්නේ නැහැ. එම නිසා ඔබට කලින් පැපොල රෝගය වැලඳී ඇති නම් මේ ගැන බිය විය යුතු නැහැ.

පැපොල රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවෙන්නේ ආශ්වාසය මගින්. රෝගය නිසා බිබිලි මතු වන්නට පෙර සිටම මෙය තවත් කෙනෙකුට බෝවිය හැකියි. පැපොල රෝග කාරක වෛරසය ශරීරයට ඇතුල්වී රෝගය ඇති වන්න සති දෙකක පමණ කාලයක් ගත වෙනව. මෙහි මූලික රෝග ලක්ෂණ වෙන්නේ උණ, ඇඟ පත රුදාව, සොටු දියර ගැලීම වැනි සාමාන්‍ය වෛරස ආසාදනයක දී ඇති වන ලක්ෂණ. වෛරසය තවදුරටත් ශරීරයේ පැතිරෙන විට සමේ බිබිලි ඇතිවෙනවා. මෙම බිබිලි කැඩී කුඩා තුවාල බවට පත් වෙන්නේ ඉන් අනතුරුව. සාමාන්‍යයෙන් මෙම රෝගය ඉබේම සුව වෙනව. නමුත් ගර්භණී මවකට පැපොල රෝගය ඇති වුවහොත් ඉන් සංකූලතා ඇතිවීමේ ඉඩකඩ වැඩියි.

ගර්භණී සමයේ මුල් කාලයේ පැපොල රෝගය වැලඳෙන මව්වරුන්ගෙන් 0.5% කට පමණ දරු ගැබට මෙම රෝගය නිසා බලපෑම් ඇතිවෙනවා. මෙය Fetal Varicella Syndrome ලෙස හඳුන්වන අතර මෙම දරුවන්ගේ මොලය, ඇස්, මුත්‍රාශය සහ බඩවැල් ආශ්‍රිත අසාමාන්‍යතා ඇති වෙනව. එම නිසා මෙම දරුවන් අබාධිතව උපදින අතර ඔවුන්ගේ බුද්ධි මට්ටමත් අඩුයි. දරු ගැබට මාස තුනත් පහත් අතර කාලයේ පැපොල ආසාදනය ඇතිවුනොත් එමගින් දරුවාට බලපෑමේ හැකියාව 2% ක් පමණ වෙනව. සති 20ට පසුව දරුවාට ආසාදනය ඇති වුවත් එමගින් අංගවිකලතා ඇති වන්නේ නැති නමුත් දරුවා වෛරස ආසාදනයට ලක් වෙනව. දරු ප්‍රසූතියට ආසන්න කාලයේ දී පැපොල රෝගය වැලඳුනොත් දරුවා උපදින විටම රෝගය ඇති වෙන්න පුළුවන්. එමගින් දරුවාගේ පෙනහළුවලට ආසාදනය ඇතිවී දරුණු නියුමෝනියා තත්වයක් හට ගන්න හැකියාව තිබෙනව.

ගර්භණී මවකට පැපොල රෝගය නිසා සංකූලතා ඇති වීමේ අවදානම සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩියි. වෛරසය පෙනහළු වලට බලපෑම නිසා දරුණු නියුමෝනියා තත්වයක් මවටත් ඇති වෙන්න පුළුවන්. එමෙන්ම වෛරසය මවගේ මොළයට සහ අක්මාවට හානි කරන්න ඉඩ තිබෙනව.

එම නිසා පැපොල රෝගය ගර්භණී සමයේ ඇති වීම එතරම් හොඳ දෙයක් නොවෙයි. මෙයින් වැලකි සිටීම ඉතා වැදගත්. ඔබ ගර්භණී වීමට බලාපොරොත්තු වන පැපොල රෝගය කලින් වැළඳී නැති කාන්තාවක් නම් මෙම රෝගයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගෙන මින් ආරක්ෂා විය හැකියි. මෙම එන්නත ලබා ගෙන මාස තුනක් යන තෙක් ගැබ් ගැනීම නිර්දේශ කරන්නේ නැහැ.

ඔබ ගර්භණී කාලයේ දී වෙනත් පැපොල රෝගියෙකුට නිරාවරණය වීමෙන් වැළකීම වැදගත්. රෝගී පුද්ගලයෙකු සමග එකම කාමරයේ විනාඩි 15කට වැඩි කාලයක් ගත කිරීම, මුහුණට මුහුණ ලා විනාඩි 5කට වැඩි කාලයක් ගත කිරීම සහ සමීප සම්බන්ධතා මගින් රෝගය බෝ වීමේ අවදානම වැඩියි. එසේ අවදානමට ලක් වුව හොත් ඔබට රෝගය වැළඳීම වළක්වා ගැනීමට මිල අධික Varicella Zoster Immunoglobulin නැමති ප්‍රතිදේහය නික්ෂේපණය කල හැකියි. රෝගියාට නිරාවරණය වී පැය 72ත් දින 7ත් අතර කාලය තුල මෙම ප්‍රතිදේහය ගැනීමෙන් රෝගය ගර්භණී මවට සිදු විය හැකි හානිය අවම කර ගන්න පුළුවන්.

යම් කිසි හේතුවක් නිසා ඔබට පැපොල රෝගය වැළඳුනොත් කලබල වෙන්න එපා. මෙය දරුවාට බලපෑමට ඇති ඉඩකඩ සියයට 2කට වඩා අඩුයි. ඔබට මෙමගින් සංකූලතා අවම කර ගැනීමයි වැදගත් වෙන්නේ. වෙනත් ගර්භණී මවුවරුන් ගැවසෙන ස්ථාන වලට යෑමෙන් වළකින්න. ප්‍රතිකාර ලෙස වේදනා නාශක ඖෂධ සහ ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි Acyclovir නැමති ඖෂධය ලබා ගැනීමෙන් රෝග ලක්ෂණ අවම කර ගත හැකියි. ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවක් හෝ අනිකුත් රෝග ලක්ෂණ මතු වන්නේ නම් සංකූලතා කලින් හඳුනා ගෙන ප්‍රතිකාර කිරීම සඳහා රෝහලක අනිත් මව් වරුන් ගෙන් වෙන් ව නැවතී සිටීම වැදගත්.

 

විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, රාගම
Visiting Consultant Obstetrician & Gynaecologist at Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo,
Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Browns Hospital - Ragama.

SHARE THIS WITH FRIENDS ON


Latest topics

Featured Articles