Skip to main content

යටි බඩේ වේදනාවට, දරුඵල පමාවීමට හේතුව එන්ඩොමෙට්‍රියෝසිස් ද? Endometriosis ගැන දැන ගන්න

Published Updated 81,897 views

යටිබඩේ අධික වේදනාව, දරු ඵල පමා වීම වැනි හේතු නිසා පරීක්ෂාවට ලක් වන කාන්තාවන්ගෙන් වැඩි දෙනෙකුට තිබෙන රෝග තත්වයක් තමයි එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ. මෙය ඉතා සුළු වශයෙන් පවතින විට කිසිම රෝග ලක්ෂණයක් ඇති කරන්නේ නැහැ. තරුණ කාන්තාවන් ගෙන් 10%කට පමණ මේ තත්වය ඇතිවිය හැකියි.

මොකක්ද මේ එන්ඩොමෙට්‍රියොසිස් කියන්නේ? ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ඇති සෛල ස්තරයට අපි කියන්නේ එන්ඩොමෙට්‍රියම් කියල. එම සෛල සාමාන්‍යයෙන් පිහිටන්නේ ගර්භාෂය තුල පමණයි. නමුත් එන්ඩොමෙට්‍රියෝසිස් තත්වයේ දී මෙම සෛල ගර්භාෂයෙන් පිට විවිධ ස්ථාන වල පිහිටනව. ගර්භාෂයේ පිටත බිත්තිය මත, ශ්‍රෝණි කුහරයේ බිත්ති මත, පැලොපීය නාල හෝ ඩිම්බ කෝෂ මත මෙම සෛල පිහිටීම ඉතා සුලබයි.

ඉතින් මේ සෛල ගර්භාෂයෙන් පිට තිබුනම මොකද වෙන්නේ? ගර්භාෂයේ ඇතුළත සෛල ස්තරය තමයි ඔසප් චක්‍රයේ මුල් කාලයේ වර්ධනය වී දරු ගැබක් තැන්පත් වීමට සුදුසු පරිදි හැඩ ගැසෙන්නේ. නමුත් පිළිසිඳ ගැනීමක් සිදු නො වුනොත් මෙම සෛල ස්තරය බිඳවැටී ඔසප්වීම ලෙස රුධිර වහනයක් සිදු වෙනව. මෙම හෝමෝන ක්‍රියාවලිය ගර්භාෂයෙන් පිට ඇති එන්ඩොමෙට්‍රියෝසිස් සෛල වලටත් බලපාන නිසා එම සෛල ඔසප් චක්‍රය සමග වර්ධනය වී බිඳවැටීම සිදුවෙනව. ඩිම්බ කෝෂය මත මෙම ක්‍රියාවලිය සිදු වීමෙන් එන්ඩොමෙට්‍රියෝමා නැතිනම් චොකලට් සිස්ට් කියන තත්වය ඇති කරනව. අනිත් ස්ථානවල ඇති එන්ඩොමෙට්‍රියොසිස් නිසා ඔසප් චක්‍රය සමග වරින් වර වේදනාවක් ඇති වෙන්නෙ පුළුවන්. දරුණු ලෙස මෙම තත්වය පවතින විට ලිංගික සංසර්ගයේ යෙදීම වේදනාකාරී වෙනව. ඒ වගේම මෙලෙස වරින් වර රුධිර වහනය වීම නිසා පැලෝපීය නාල ඩිම්බකෝෂ සහ බඩවැල් එකට ඇලෙන්න පුළුවන්. ඒ නිසා පැලෝපීය නාල අවහිර වී දරු පිළිසිඳ ගැනීම පමා වෙන්න පුළුවන්.

කොහොමද මේ තත්වය හඳුනා ගන්නේ? නාරිවේද වෛද්‍ය වරයෙකුට ඔබගේ රෝග ලක්ෂණ අනුව මෙම තත්වය ඇති දැයි සැක කරන්න පුළුවන්. ඒ වගේම චොකලට් සිස්ට් වැනි තත්වයක් ඇති නම් එය ස්කෑන් පරීක්ෂණයක් මගින් හඳුනා ගන්න පුළුවන්. නිවැරදිව ම එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ලැපරොස්කොපි පරීක්ෂණය මගින්. මෙහි දී උදර කුහරය තුලට සෙන්ටි මීටර 1ක කැපුමක් තුලින් කුඩා කැමරාවක් ඇතුල් කර ඇතුළත නිරීක්ෂණය කර බලනව. එහි දී නාරිවේද වෛද්‍ය වරයා එන්ඩොමෙට්‍රියෝසිස් නිසා ඇතිවී ඇති සංකූලතා දැක ගැනීමට පුළුවන්.

මෙයට ප්‍රතිකාර මොනවාද? එන්ඩොමෙට්‍රියෝසිස් නිසා වේදනාව ඇතිවෙන විට වේදනා නාශක මගින් තාවකාලික සහනයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙම සෛල තරමක් දුරට හැකිළීමට ලක් කල හැකි හෝමෝන ප්‍රතිකාර වර්ග තිබෙනව. දරුණු ලෙස එන්ඩොමෙට්‍රියෝසිස් ඇත්නම් ලැපරොස්කොපි ශල්‍යකර්මයක් මගින් එන්ඩොමෙට්‍රියෝසිස් සෛල ඉවත් කල හැකියි. ඉන් පසු වේදනාව අඩු වන අතර නැවතත් සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු වල යෙදෙන්න හැකියාව ලැබෙනව. ලිංගික එකවීමේදී ඇතිවෙන වේදනාවත් මෙමගින් සුව කල හැකියි.

ඩිම්බ කෝෂවල චොකලට් සිස්ට් ඇති විට දීත් ලැපරොස්කොපි ශල්‍යකර්මය මගින් ඉවත් කරන්න පුළුවන්. ලැපරොස්කොපි ක්‍රමයෙන් ශරීරයට සිදු වෙන හානිය අවම නිසා මෙයට දැන් විවෘත ශල්‍යකර්ම සිදු කරන්නේ නැහැ. දරු පිළිසිඳ ගැනීම පමා වීමට එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය තිබීමට අමතරව ඒ නිසා පැලෝපීය නාල අවහිර වීමත් පටක එකින‍ෙකට ඇලීමත් නිසා ඩිම්බයට පැලෝපීය නාලය කරා ගමන් කිරීමට නො හැකි වීම බලපානව. මෙම අවහිරතා ඉවත් කර ඩිම්බයක් පැලෝපීය නාලය පැමිණීමට හැකි පරිදි සකස් කිරීමට ශල්‍යකර්මයක දී හැකියාව ලැබෙනව.

මදසරු බවට ප්‍රතිකාර ලෙස එන්ඩොමෙට්‍රියෝසිස් ඉවත් කරන ලැපරොස්කොපි ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසු සමහර විට හෝමෝන ප්‍රතිකාර මාස කිහිපයක් ලබා ගැනීමට සිදුවෙනව. ඉන් පසු ඉතා ඉක්මනින් පිළිසිඳ ගැනීමට උත්සාහ කල යුතුයි. බොහෝ දෙනෙක් මෙම ප්‍රතිකාර මගින් සාර්ථක ප්‍රතිඵල ලබනව.

මේ ප්‍රතිකාර ක්‍රම මගින් සහනයක් නො ලැබ ඉතා දරුණු ලෙස මෙම රෝග තත්වයෙන් පීඩා විඳින කාන්තාවන්ට ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම මගින් සම්පූර්ණ සුවය ලබන්න පුළුවන්. ඔබටත් මෙම රෝග තත්වය ඇති දැයි සැකයක් ඇත්නම් නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. දැන් ඇති නවීන ලැපරොස්කොපි ශල්‍ය කර්ම ක්‍රම මගින් ශරීරයට හානියක් නොමැතිව එන්ඩොමෙට්‍රියෝසිස් නිසා ඇතිවෙන සංකූලතා වලින් මිදීමට ඔබටත් හැකියාව තිබෙනව.

ලිපිය ලියූ වෛද්‍යවරයා

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට

MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)

Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.

මෙම ලිපිය බෙදාගන්න