අපි කලින් ලිපියකින් එන්ඩොමෙට්‍රියෝසිස් ගැන සඳහන් කලා. ගර්භාෂයේ ඇතුළත බිත්තිය මත ඇති සෛල ස්තරය එන්ඩොමෙට්‍රියම් ලෙස හඳුන්වනව. එම සෛල යම්කිසි හේතුවක් නිසා ගර්භාෂයේ මාංශපේශි බිත්තිය ඇතුළත පිහිටි විට ඇඩිනොමයොසිස් (Adenomyosis) තත්වය ඇතිවෙනව. මෙය ගෙඩියක් හෝ පිළිකා තත්වයක් නොවෙයි. සමහර විට ඇඩිනොමයෝසිස් ගර්භාෂයේ එක් ස්ථානයක පමණක් දක්නට ලැබෙනව(Adenomyoma) නමුත් බොහෝ විට මේ තත්වය ගර්භාෂයේ මාංශපේශි බිත්ති තුල විසිරී පවතින්නේ.
වැඩිපුර මේ තත්වය ඇතිවෙන්නේ දරුවන් සිටින කාන්තාවන්ට. නමුත් අවිවාහක තරුණ කාන්තාවන්ට වුවත් ඇඩිනොමයෝසිස් ඇති විය හැකියි. දරු ඵල පමා වීම, යටිබඩේ වේදනාව, ඔසප්වීම සමග ඇතිවෙන අධික වේදනාව, ඔසප් වීමේ දී අධික ලෙස රුධිර වහනය වීම මේ සමග ඇති වෙන රෝග ලක්ෂණ කිහිපයක්. මේ වගේ රෝග ලක්ෂණ ඇති නම් නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි. එහිදී ස්කෑන් පරීක්ෂණයක් මගින් මෙය හඳුනා ගන්න පුළුවන්.
මේ සඳහා ප්‍රතිකාර ක්‍රම වෙන්නේ ඖෂධ ප්‍රතිකාර සහ ශල්‍යකර්මයි. මුල් අවස්තාවේදී වේදනාව සහ රුධිර වහනය අඩු කිරීමට කිරීමට ඖෂධ ලබා ගත හැකියි. සමහර හෝමෝන ඖෂධ මගින් මේ තත්වය තරමක් දුරට පාලනය කල හැකි නමුත් සම්පූර්ණයෙන්ම සුව කිරීමට හැකි වෙන්නේ ශල්‍ය කර්මයක් මගින් පමණයි.
ගර්භාෂයේ එක ස්ථානයක පමණක් ඇඩිනොමයෝසිස් තත්වය ඇති නම් එය ඇඩිනොමයෝමා ලෙස හඳුන්වනව. එවැනි තත්වයක දී නම් ශල්‍යකර්මය මගින් රෝගී කොටස පමණක් ඉවත් කර ගර්භාෂය ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙනව. මෙම සැත්කම ඇඩිනොමයෝමෙක්ටොමි (Adenomyomectomy) ලෙස හඳුන්වනව. දරු ඵල බලාපොරොත්තු වෙන කාන්තාවකට නම් ගර්භාෂයට සහ අවට පටක වලට අවම හානියක් වන ලෙස මෙම සැත්කම ලැපරොස්කොපි ක්‍රමයට සිදු කල හැකියි.
නමුත් ගර්භාෂයේ බිත්තිවල පැතිරී ඇඩිනොමයොසිස් තත්වය ඇති විට ගර්භාෂය ඉවත් කිරීම (hysterectomy) තමයි ස්ථිර විසඳුම වෙන්නේ. මෙහි දී ඩිම්බ කෝෂ ඉවත් කිරීමට අවශ්‍ය නැහැ. ගර්භාෂය පමණක් ඉවත් කිරීම අතුරු ආබාධ අවම වෙන ලෙස ලැපරොස්කොපි ක්‍රමයට සිදු කිරීමේ හැකියාව දැන් තිබෙනව. එම සැත්කම ගැන විස්තර පහත ලිපියෙන් දැන ගන්න පුළුවන්.
Total Laparoscopic Hysterectomy (ලැපරොස්කොපි ක්‍රමයට ගර්භාෂය ඉවත් කරන සැත්කම)
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය
Visiting Consultant Obstetrician & Gynaecologist at Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo,
Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Browns Hospital - Ragama.
SHARE THIS WITH FRIENDS ON